අනාගත පරපුර වෙනුවෙන්, යුද්ධයේ වේදනාව සහ ප්‍රචණ්ඩත්වයේ අත්දැකීම් නොලබන රටක් ගොඩනැගීමට එක්වෙමු.
ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බවත්, එම මුදල් මඟදී එක් එක් පුද්ගලයන්ගේ සාක්කු වලට වැටීම හේතුවෙන් ගමේ සංවර්ධනය නිසි අයුරින් සිදු නොවූ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මුලතිව් දිස්ත්‍රික්කයේ, මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නට්ටන්කණ්ඩාල් පොදු වෙළඳ සංකීර්ණය අසල සහ මල්ලාවි ප්‍රදේශයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල පරිශ්‍රයේදී අප්‍රේල් 19 දින පැවති ජන හමු වලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පල කළාය.
මෙම ජනහමු අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
"අපේ රටේ අවුරුදු 76 ක් තිස්සේ පැවති සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කරමින් ඔබ අපට 2024 වර්ෂයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නේ අප කෙරෙහි පවතින විශ්වාසය නිසා බව අපි හොඳින්ම දන්නවා. ඒ විශ්වාසය අපි රකිනවා කියලත් මේ මොහොතේ මම ඔබට කියන්න කැමතියි.
ඔබට ආසන්නතම රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හා එම රෝහලට ශල්‍යාගාරයක් නොමැති බවත් එමෙන්ම ශල්‍යාගාරයක් පවතින රෝහලකට 50km ක් පමණ දුරක් ගමන් කිරීමට සිදු වී ඇති බව මට මෙහි පැමිණි මොහොතේ දැනගන්න ලැබුණා. ඒ වගේම ප්‍රදේශයට අයත් පාසලේ විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න, ගුරුවරු නොමැති වීම නිසා විද්‍යා විෂය ධාරාව හැදෑරීමට දරුවන්ට 50km ක් දුර පවතින පාසලට යාමට සිදුවෙලා තියෙනවා කියලත් මට මට අහන්න ලැබුණා.
අපි දන්නවා ප්‍රදේශයේ ජනතාව පොදු ප්‍රවාහනය, දරුවන්ට අධ්‍යාපන පහසුකම් සහ විදුලිය වැනි පහසුකම් නිසි ලෙස නොමැතිකම නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයන් වෙනස් කරන්න අවශ්‍ය නිසා තමයි ඔබ අපිව තෝර ගත්තේ.සියලුම දරුවන්ට තමන්ගේ දක්ෂතාවය, කුසලතාවය අනුව තමන්ගෙ වෘත්තීය ජීවිතය තෝරගෙන දියුණු වෙලා ඉදිරියට යන්න අවස්ථාව හදන්න ඕනේ. ඒ කාර්යය අපේ රජය කෙසේ හෝ සිදු කරන බව මම ඔබට පොරොන්දු වෙනවා.
කලින් තිබූ දේශපාලන ක්‍රමය අනුව ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබෙනවිට 75%ක්ම එක් එක් පුද්ගලයන්ගේ සාක්කු වලට ගිහිල්ල තමා ඉතුරු කොටස ගමට ආවේ. ඒ ක්‍රමය නිසා තමා මේ වනතෙක් මේ ප්‍රදේශ සංවර්ධනය වීම සිදු වෙලා නැත්තේ" යැයි පැවසුවාය.
2025 වර්ෂයේ අයවැයෙන් ග්‍රාමීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා විශාල මුදලක් වැයකොට ඇති හෙයින් එම මුදල් වංචාවෙන් දුෂණයෙන් තොරව නිසි අයුරින් සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවිය හැකි කණ්ඩායමක් ප්‍රාදේශීය නායකත්වය සඳහා තෝරාගත යුතු බවත්, ජාතික ජන බලවේගයේ තම කණ්ඩායම ඒ සඳහා සුදුසුම කණ්ඩායම බව විශ්වාසයෙන් කිවහැකි බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.
"මේ ප්‍රදේශවල යටිතල පහසුකම් විතරක් නොවෙයි මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වුණා. සමහර අයට මොකද වුණේ කියලා තවමත් පිළිතුරු ලැබිලා නෑ. මේ ප්‍රදේශයේ වගේම රටේ නොයෙක් තැන්වල අම්මලා දහස් ගණනක්, බිරින්දෑවරු දහස් ගණනක් තමන්ගෙ දරුවාට, සැමියාට, පවුලෙ සාමාජිකයන්ට වුණේ මොකක්ද කියලා උත්තර හොයමින් අවුරුදු ගණනාවක් වැලපෙනවා. ඒ පිළිතුරු සොයන්න අපි මැදිහත් වෙන බවටත්, නැවත එවැනි දේ සිදුවීම වළක්වන බවටත් අපි පොරොන්දු වෙනවා " යැයිද අග්‍රාමාත්‍යවරිය පිරිස අමතමින් පැවසීය.
සංස්කෘතික විවිධත්වයකින් විචිත්‍ර වූ රටක වැඩකරන ජනතාව වෙනුවෙන් කැපවෙන ජාතිවාදී නොවන, සැමට සාධාරණව හා සමානාත්මතාවයෙන් සැලකිය හැකි එකම වේදිකාව, එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය බවත්, 2024 වසරේ දී මෙරට ජනතාව ආරම්භ කරන ලද ඓතිහාසික පරිවර්තනීය ගමන 2025 වසරේ එළඹෙන මැතිවරණයේ දි තවත් පියවරක් තබමින් අනාගතය වෙනුවෙන් පිරිසිදු ප්‍රාදේශීය සභාවක් හා නගර සභාවක් ගොඩනැගීමට එකතුවෙමු යනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහි දී ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මෙයිල්වාගනම් ජෙගතීස්වරන්, එස් තිලගනාතන් යන මහත්වරුන්, තුනුක්කායි ප්‍රාදේශීය සභා අපේක්ෂක,කණ්ඩායම් නායක ගනේශපුල්ලේ මදනරාජ් මහතා ඇතුළු අපේක්ෂක කණ්ඩායම හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය