නව පුනරුද යුගයට උචිත පීඩාවකින් තොර විශ්වසනීය අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වැඩ අරඹමින් අගමැතිනිය පවසයි.

ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසුන්ගේ විශ්වසනීයත්වය තහවුරු වන ළමා මනසට පීඩාවක් නොවන අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අද (20) පෙරවරුවේ ’ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,

අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ අමාත්‍ය ධුරයක් භාරගැනීමට ලැබීම සම්බන්ධ ව නිහතමානී ව සතුටු වනවා. එසේ ම එම විෂයේ පවත්නා භාරදූර භාවය ද මැනවින් අවබෝධ කරගෙන සිටිනවා. නව රජයේ ප්‍රතිපත්ති අනුව ඉහළ ප්‍රමුඛත්වයක් අධ්‍යාපනයට ලබා දී තිබෙනවා. පාසල් අධ්‍යාපනය නිසි ලෙස ක්‍රමික රටාවකට හා කාල සටහනකට අනුව සාර්ථක ව ක්‍රියාත්මක කළ යුතුයි. එමගින් දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් සකස් කර දිය යුතු යි. ඊට අවශ්‍ය වන පරිදි වර්තමානයේ අධ්‍යාපන ක‍්ෂේත්‍රය තුළ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට ක⁣ටයුතු කරනවා. සියලු දෙනාගේ නොමඳ සහාය ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් පැවසී ය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කේ. එම්. ජී. එස් එන්. කලුවැව මහතාද ‘ඉසුරුපාය’ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ලේකම් ධුරයේ වැඩ භාර ගත්තේ ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය