ගෝලීය ආර්ථික වේදිකාවේ ශ්‍රී ලංකාවේ නව පුනරුදය සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඩාවෝස් සංචාරය නිමා කරයි: ජාත්‍යන්තර විශ්වාසය සහ සහයෝගීතාවයේ නව මාවතක් විවර වෙයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ අනාගත දිශානතිය සහ නව රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය ලෝකය හමුවේ අභිමානවත්ව සනිටුහන් කරමින් සිය සිව්දින සාර්ථක නිල සංචාරය නිමා කර ජනවාරි 23 දිවයිනට පැමිණියාය.

කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු දූත පිරිස සහභාගී වූ මෙම සංචාරය, හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් මාලාවකට එහා ගිය, ශ්‍රී ලංකාව කෙරෙහි ගෝලීය විශ්වාසය නැවත දිනා දුන් සුවිශේෂී සන්ධිස්ථානයක් විය.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මෙනෙවිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා මහතා සමඟ පවත්වනු ලැබූ සාකච්ඡා අතිශය තීරණාත්මක විය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, ආර්ථික ස්ථාවරත්වය සහ විනිවිදභාවයෙන් යුතු මූල්‍ය පාලනය පිළිබඳව එහිදී කරුණු ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා එම ආයතනවල අඛණ්ඩ සහයෝගය තහවුරු කර ගැනීමට සමත් වූවාය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ක්ෂේත්‍රයේදී, යුරෝපා සංගමයේ (EU) ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ කොමසාරිස් Jozef Síkela මහතා සහ හදිසි අවස්ථා කළමනාකරණය පිළිබඳ කොමසාරිස් Hadja Lahbib මහත්මිය හමු වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවට බලපෑ "දිට්වා" සුළි කුණාටුවෙන් පසු සහන සැලසීමට යුරෝපා සංගමය දැක්වූ දායකත්වය අගය කළාය. එහිදී ආපදා කළමනාකරණය සහ රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා යුරෝපා සංගමයේ දීර්ඝකාලීන සහයෝගය තහවුරු කරගත්තාය.

එසේම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ඇලෙක්සැන්ඩර් ඩි කෘෘ මහතා සමඟ පැවැති හමුවේදී, නව රජයට ලැබුණු ජනවරමට අනුව යහපාලනය සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

අග්‍රාමාත්‍යවරිය ලෝක ආර්ථික සමුළුවේ ප්‍රධාන දේශකයෙකු ලෙස සහභාගී වූ "Jobs Crisis in Emerging Markets" සහ "Reskilling Revolution" යන සැසිවාරයන්හිදී ඉදිරිපත් කළ කරුණු ජාත්‍යන්තර අවධානයට ලක් විය.

තාක්ෂණික දියුණුව සහ මානව හැඩගැසීම අතර පවතින ’කාල පරතරය’ (Time lag) මගහරවා ගැනීමට ’ඉගෙන ගන්නා සමාජයක්’ (Learning Society) ගොඩනැගීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරිය එහිදී තර්කානුකූලව පැහැදිලි කළාය.

ශ්‍රී ලංකාව තුළ තරුණ තරුණියන් 50,000ක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන පූර්ණ අරමුදල් සහිත පුහුණු වැඩසටහන් සහ වෘත්තීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ලෝක අවධානය දිනා ගත්තාය. විශේෂයෙන්ම කෘතිම බුද්ධිය (AI) සහ ඩිජිටල් පරිවර්තනය හමුවේ පරම්පරා අතර පරතරය නොවැඩෙන ලෙස "ඉගෙන ගන්නා සමාජයක්" (Learning Society) ගොඩනැගීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය විසින් අවධාරණය කළාය.

ගෝලීය කාන්තා නායකත්වය පිළිබඳ "World Woman Davos Agenda 2026" සමුළුවේදී අග්‍රාමාත්‍යවරිය කළ "වෙනස්වන ලෝකයට නායකත්වය දෙන කාන්තාවන්" යන දේශනය සුවිශේෂී විය. නායකත්වය යනු හුදෙක් පවතින ව්‍යුහයන්හි අසුන් ගැනීම නොව, එම ව්‍යුහයන්ම ප්‍රතිව්‍යුහගත කිරීම (Restructuring the table) බවත්, විශේෂයෙන්ම කාන්තාවන් සිදු කරන වැටුප් නොලබන රැකබලා ගැනීමේ සේවය (Care Work) ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස පිළිගත යුතු බවත් අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ වත්මන් පාර්ලිමේන්තුවට කාන්තාවන් 20 දෙනෙකු තේරී පත්වීම හරහා ලැබූ ප්‍රගතිය සියල්ල ඇතුළත් පාලනයක් (Inclusive Governance) සඳහා වන රජයේ කැපවීම පිළිඹිබු කරන්නක් බවත් පෙන්වා දුන්නාය.

ව්‍යාපාරික සහ ආයෝජන ක්ෂේත්‍රයේදී ලොව ප්‍රමුඛතම සමාගමක් වන MAERSK හි සභාපති රොබට් යූග්ලා මහතා සහ Menzies ගුවන් සේවා සමාගමේ සභාපති හසන් එල් හවුරි මහතා සමඟ ශ්‍රී ලංකාවේ වරාය, සැපයුම් දාම සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට හැකි වූවා.

එසේම ස්විට්සර්ලන්තයේ Hamilton Medical සහ Variosystems යන අධි තාක්ෂණික සමාගම්වල නිරීක්ෂණ චාරිකාවන්ට එක් වූ අග්‍රාමාත්‍යවරිය, ස්විට්සර්ලන්තයේ ද්විත්ව වෘත්තීය පුහුණු (Dual Vocational Training) ආකෘතිය ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි හඳුන්වා දීම පිළිබඳව ද අවධානය යොමු කළාය.

කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කරමින් සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා හමුවී අධ්‍යාපන සහ කුසලතා සංවර්ධන සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා කළ අතර, බංග්ලාදේශ ප්‍රධාන උපදේශකවරයාගේ විශේෂ නියෝජිත ලුට්ෆේ සිද්දික් මහතා සමඟ ද ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තාය.

සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව යුරෝ නිව්ස් (Euronews Hub) හි පැවැති සංවාදයකදී සංචාරක ව්‍යාපාරය "මෘදු බලය" (Soft Power) සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රාග්ධනයක් ලෙස භාවිතා කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික සහ වෘත්තීය ප්‍රජාව මෙන්ම ස්විට්සර්ලන්ත ව්‍යාපාරික නියෝජිතයින් ද හමු වූවාය. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශ ආයෝජකයින්ට ලබා දිය හැකි ප්‍රායෝගික දායකත්වය සහ සහයෝගීතාවය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍යවරියගේ මෙම ඓතිහාසික ඩාවෝස් මැදිහත්වීම හරහා ශ්‍රී ලංකාව යනු හුදෙක් ආධාර ලබන රටක් නොව, ලෝකයේ නව ප්‍රවණතා හඳුනාගත්, ප්‍රතිපත්තිමය ස්ථාවරත්වයක් සහිත සහ මානව ගරුත්වය කේන්ද්‍ර කරගත් ප්‍රගතිශීලී රාජ්‍යයක් බව ලෝකය හමුවේ තහවුරු කිරීමට හැකි විය.

මෙම සංචාරය හරහා දිනාගත් ජාත්‍යන්තර ගෞරවය සහ විශ්වාසය ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන මාවත වඩාත් ආලෝකවත් කිරීමට හේතු වනු ඇත.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය