ශ්‍රි සෝභිත නාහිමිගම නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභී අයිතියට පැවරීම ජුලි 12 දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව, ඇල්පත්ගම දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙහිදී නිවාස ව්‍යාපෘතියට අදාල නිවාස 115ක් ජනතාවට ප්‍රදානය කිරීම සිදු කල අතර මෙම ව්‍යාපෘතිය අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනම, වත්මන් රජයේ මැදිහත් වීමෙන් සහ ඉන්දියානු රජයේ ආධාර ඇතිව සිදු කර ඇත.
එහිදී සමරු ඵලකය විවෘත කල අග්‍රාමාත්‍යතුමිය නිවාසලාභීන් තිදෙනෙකු සදහා සංකේතාත්මකව නිවාසවල යතුරු භාර දෙන ලදී. එමෙන්ම අග්‍රාමාත්‍යතුමිය අතින් විහාර භූමිය තුළ පැලයක්ද රෝපණය කළාය.
මෙහිදී උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය,
"පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ජීවත්ව සිටින කාලයේ මෙම ගම්මානය වෙනුවෙන් විශේෂ කැපකිරීමක් සිදුකළා. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි අනුස්මරණ පදනම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ රජයන් සමග සාකච්ඡා කරල මේ ගම්මානයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න ගත්ත උත්සාහය අපි අගය කරනවා.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේව මට කුඩා කාලයේ ඉඳන්ම සමීපව ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුණා. මම බුද්ධ ධර්මය ගැන ඉගෙන ගත්තේ අපේ සෝභිත හාමුදුරුවන්ගෙන්. අසාධාරණයට, අයුක්තියට එරෙහිව නැගී සිටින්න ඕනේ සටන් කරන්න ඕනි කියලා මම ඉගෙන ගත්තේ උන්වහන්සේගෙන්.
භෞතිකව ආර්ථිකය, දියුණු කරනවා වගේම දරුවන්ගේ අනාගතය හදන වැඩ පිළිවෙලක අපි මේ වන විට නිරත වෙලා ඉන්නවා. ඒ අනුව අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ඔවුන්ව මේ රටේ ඊළඟ නායකත්වයට සුදුසු විදිහට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දෙනවා." යැයි අග්‍රාමාත්‍යවරියය පැවසීය.
ශ්‍රි සෝභිත විහාරාධිපති ඇලපත්ගම රේවත හිමි,
"එදා සෝභිත හාමුදුරුවෝ තමාගේ විහාරයට ලැබුන සීනි,තේ කොළ පැකට් එක ගෙනත් දීලා තමා මේ ගම් පෝෂණය කරේ. උන්වහන්සේ ඒ තරම්ම ආදර්ශමත් හිමිනමක්.
2017 වර්ෂයේ මේ ව්‍යාපෘතිය ආරම්භ කරන විට මේ ගමට දේශපාලනඥයෝ ආවා. ඔවුන්ට ඕනෙ විදිහට වැඩ කරන්න ලැබුණේ නැති නිසා ඔවුන් මේ ව්‍යාපෘතිය නොසලකා හැරියා. ඔවුන්ට අවශ්‍ය විදිහට ගස් කපන්න, සත්තු මරන්න වැලි ගොඩ දාන්න, වංචා දූෂණ සිදු කරන්න අපි ඉඩ දුන්නේ නෑ.
2017 මම ගියා එක්තරා ඇමතිවරයෙක් හමුවෙන්න, අපේ මේ ගමට එන බස් රථයට කාලසටහනක් දීලා ඒ අනුව බස් රථය ධාවනය කරන්න කියලා ඉල්ලීමක් කරන්න. නමුත් ඒ අවස්ථාවේදී මගේ ලිපිය මගේ මූණට දමල ගැහුවා. එහෙමයි පහුගිය ආණ්ඩු වලින් මේ දුප්පත් මිනිස්සුන්ට සැලකුවේ.
මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා 2025 වසරේ මැයි මාසෙ වෙනකොට මට මේ ව්‍යාපෘතිය අවසන් කරල දෙන්න කියලා. කිව්වා වගේම එතුමා ඒක කරලා අග්‍රාමාත්‍යතුමියට භාර දුන්නා ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න කියලා. අපේ නිවාස ඇමතිතුමා අනුර කරුණාතිලක මැතිතුමා මේ ගමේ හැම ගෙදරක් ගෙදරක් ගානෙ ගිහිං බැලුවා. සියලු නිලධාරීන්ට දැනුම් දුන්නා හාමුදුරුවෝ ඉල්ලන දවසටම මේ ව්‍යාපෘතිය නිම කරලා දෙන්න කියලා. ඒ වගේ පවතින රජය අපිට විශාල සහයෝගයක් ලබා දුන්න මේ කටයුත්ත සාර්ථකව සිදු කරන්න."
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් දැක්වූ අදහස්,
"මගහැරලා, අත්හැරලා තිබූ මෙවැනි ගම්මාන වලට රෝහල, වැව, අධ්‍යාපනය කියන්නේ විශේෂයෙන්ම ලබා දියයුතු දේවල්. ඒවා ලබා දීම අපේ රජයේ වගකීමක්.
නිෂ්පාදන සමුපකාර ක්‍රමවේදය යටතේ ගම්වල සිදු කරන නිෂ්පාදන වෙළඳ පොළට රැගෙන යාමේ වැඩපිළිවෙළක් අපට තියෙනවා."
නාගරික සංවර්ධන,ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා උත්සවයට සහභාගී වෙමින් දැක්වූ අදහස්,
"ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති යටතේ සුවපහසු සහ සෞඛ්‍යමත් නිවසක් සියලු දෙනාටම ලබා දීමට අපි කටයුතු කරමින් ඉන්නවා. මේ වසරේ නව නිවාස ඉදිකිරීමට අපි විශාල මුදලක් වැය කරනවා.
අපි මේ ගම්මානය නිරීක්ෂණය කරන්න පැමිණි වෙලාවේ අපි දැක්ක ජනතාව විඳින දුක. ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීමට අපේ රජය කැපවී කටයුතු කරනවා."
ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් දැක්වූ අදහස්,
"සැවොම එක්ව එකට ගොඩනැගෙමු යන තේමා පාඨය ඔස්සේ ඉන්දියාව ගොඩනැගෙමින් පවතින මොහොතක පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන පරිවර්තනීය මාවතකට ලංකාවත් අවතීර්ණ වෙලා තියෙනවා.එය දෙරටේ සහෝදරත්වය පිළිබිඹු කරන හොඳම නිදසුනක්.
බුදු දහමෙන් අප ලද පන්නරය දෙරටේ බැඳීම ශක්තිමත් කිරීමට ඉවහල් වෙනවා මෙන්ම ආර්ථික සහනයක් ලබාදීම සඳහා මෙම ඉන්දියානු සහ ශ්‍රී ලංකා රජය එක්ව සිදුකළ ව්‍යාපෘතිය බුදු දහමේ එන කරුණා ගුණය පිළිබිඹු කරනවා."
මෙම අවස්ථාවට තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.
නිවාස සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත්,හිටපු කතානායක කරු ජයසූරිය අනුරාධපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර , මාදුළුවාවේ සෝභිත හිමි පදනමේ සභාපති රවී ජයවර්ධන මහත්වරුන්, නිවාස ලාභීන් හා ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය