සිය ධූර කාලය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව යන ඊජිප්තු තානාපතිවරයා අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

සිය ධූර කාලය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු ඇඩෙල් ඉබ්‍රාහිම් මහතා 2026 අගෝස්තු 11 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

තානාපතිවරයා පිළිගනිමින් අග්‍රාමාත්‍යතුමිය, සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සඳහා තානාපතිවරයා දැක්වූ දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළාය.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා වූ අතර, දෙරට අතර ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව තැදුරත් වැඩිදියුණු කිරීම සඳහා පවතින අවස්ථා කෙරෙහි ද විශේෂ අවධානය යොමු විය.

මෙම හමුවේදී සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, එම ක්ෂේත්‍රයේ තවදුරටත් සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය