ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ක්‍රියා කරන නිලධාරීන්ගෙන් හා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන සියලු දෙනාම ජනතාවට සංවේදී වන ප්‍රවාහන සේවාවන් දියුණු කරන්න කැපවීමෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2026 අයවැයට අදාළව ප්‍රවාහන අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තු යෝජනාව පිළිබද විවාදයට එක්වෙමින් ඔක්තෝබර් 08 දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
" පරිපූරක ඇස්තමේන්තු යෝජනාව අමාත්‍යංශයක විනිවිදභාවයත්, මුදල් පාලනය පිළිබඳවත් හොඳ නිදසුනක්.
අවුරුද්ද අවසානයේදී යම්කිසි ව්‍යාපෘතියක් කරන්න බාධාවක් තියෙන විට පරිපූරක ඇස්තමේන්තු යෝජනාවක් හරහා මේ විදිහට ප්‍රතිපාදන ලබා ගැනීම හොඳ ආදර්ශයක්.
ඉස්සර දේවල් සිද්ධ වුණ හැටි අපිට මතකයි. අයවැය යෝජනා හරහා නෙමෙයි වැඩ සිද්ධ වුණේ. ප්‍රවාහන අමාත්‍යංශය කියන්නේ වංචාව, දූෂණය ඉහළින්ම තියෙන අමාත්‍යාංශයක් හැටියට තමයි සමාජගත වෙලා තියෙන්නේ.
නමුත් මේ වෙනකොට මේ ආකල්පය වෙනස් කරමින් ඒ දූෂණ වංචාවලට එරෙහිවත් නැවත වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිශයින්ම වැදගත් වන කාර්යයන් දෙකක් තමයි පොදු ප්‍රවාහනය සහ මහමාර්ග කියන්නේ.
ජනතාවට අත්‍යවශ්‍යය යටිතල පහසුකම් ලබා දෙන මේ අමාත්‍යංශ දැන් ක්‍රමානුකූලව ගොඩනැගෙමින් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ආයතන බවට පත්වෙමින් තියෙනවා.
ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රශ්න හඳුනාගෙන එම ප්‍රශ්න වලට උත්තර හොයමින් යන ගමන මම හිතන්නේ ප්‍රශංසනීයයි. මේ පරිපූරක මුදල් වෙන් කිරීමේ යෝජනාව මගින් අපිට මේ ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශය මීට වඩා ජනතාවාදී, ජනතාව වෙනුවෙන් සේවය කරන කාර්යක්ෂම ආයතනයක් කරගන්නත් හොඳ අවස්ථාවක් හැටියට මම දකිනවා.
අපි දන්නවා ආර්ථික අර්බුද ඇතිවෙන්නත් ප්‍රධාන හේතුවක් වුණේ මුදල් කළමනාකරණය තුළ තිබ්බ දුර්වලතාවය. ව්‍යාපෘති හඳුනා ගැනීමත්, ව්‍යාපෘතිවල පැවති කොන්දේසි වල තිබ්බ දුර්වලතාවයත් නිසා තමයි අපිට ආර්ථික අර්බුදවලටත් මුහුණ දෙන්න සිද්ධ වුනේ.
ඒ නිසාම තමයි මේ බලපෑම අපිට අතිශයින්ම වැදගත් වන ප්‍රවාහන මහාමාර්ග වැනි ක්ෂේත්‍රවලත් අපිට දකින්න තියෙන්නේ. පහුගිය අවුරුද්ද පුරාම දකින්න තිබ්බේ ඒ විදිහට එක්කෝ දුර්වල විදියට හිතලා දුර්වල ව්‍යාපෘති ආරම්භ කිරීම හා ඒ ආරම්භ කල ව්‍යාපෘතිවල තිබූ දුර්වලතා. රටේ ජනතාවවත්, රටේ මුදල් කළමනාකරණයවත් ගැන හිතන්නෙ නැතුව ගත්තු තීන්දු තීරණ අතිශයින් පුද්ගලික හේතු මත එහෙම නැත්නම් වංචාව දූෂණය මුල් කරගෙන ගත්ත ඒ තීන්දු තීරණ නිසා ඒ ව්‍යාපෘති තීරණ නිසා ඒ ව්‍යාපෘති ඉදිරියට ගියෙත් නැහැ. ව්‍යාපෘති ක්‍රියාත්මක වුණෙත් නෑ.
එවැනි ප්‍රශ්න ගණනාවක් මං හිතන්නේ මේ අමාත්‍යංශය විතරක් නෙවෙයි හැම අමාත්‍යංශයක් තුළම අපි දැක්කා. මේ අවුරුද්ද පුරාම අපිට සිද්ධ වුණා. අතරමං වූ ව්‍යාපෘතී, නතර වූ ව්‍යාපෘති මේවා වෙනුවෙන් නැවත වතාවක් මුදල් වෙන් කරන්න විතරක් නෙවෙයි මේවා අවසන් කරන්න , මොකක් හෝ විදියට ඉවර කරන්නත් අපිට සිද්ධ වුණා. මේ සියල්ලම මේ ආර්ථික අර්බුදයේ තවත් පැතිකඩක්.
එවැනි හේතු කාරණා ගණනාවක් මේ ව්‍යාපෘති තුළ අපි දකිනවා. ඉතින් ඒ නිසා පරිපූරක මුදල් වෙන් කරගෙන නැවත වතාවක් ගොඩදාන්න බැරි වෙච්ච, ඉවර කරගන්න බැරි වෙච්ච වැඩ ඇදගෙන යන්න වෙලා තියෙනවා. මේ රටට මේ රටේ ජනතාවට අවම හානියක් වෙන විදියට ඉවර කරන්න තමයි අපි මේ උත්සාහය ගන්නේ.
ඒ වගේම තමයි පොදු ප්‍රවාහනය අපිට අතිශයින්ම වැදගත්. ජනතාවට ගමන් බිමන් යාමේදී ආරක්ෂිතව, කාර්යක්ෂමව සහ පහසුකම් සහිතව ඒ ගමන යාමට ලැබීම ඉතා වැදගත්. ඒ වගේම තමයි දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් හා ආබාධ සහිත ප්‍රජාවන් මේ සියලු දෙනාටමත් ප්‍රවාහන පහසුකම් ලබාගන්න පුළුවන් විදියට පොදු ප්‍රවාහනයට ප්‍රවේශයක් තියෙන විදිහට මේවා දියුණු වීම අතිශයින්ම වැදගත්.
ඒ සඳහා මේ අමාත්‍යාංශය ගන්න පියවර අපි ඉතාමත්ම අගය කොට සලකනවා. අධ්‍යාපන අමාත්‍යංශය හරහා අපි ප්‍රවාහන අමාත්‍යංශයට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. පාසල් වල යටිතල පහසුකම් දියුණු කරනවා කියන්නේ, බිල්ඩින් එකක් හදන එක විතරක් නෙවෙයි. ඒ පාසලට එන මාර්ගය දියුණු කරන එක, ඒ පාසලට එන්න තියෙන පොදු ප්‍රවාහන සේවය දියුණු කරන එක ඒ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක භාවය තහවුරු කරන එක, ආරක්ෂාව තහවුරු කරන එක මේ සියල්ලමත් පාසල් යටිතල පහසුකම් දියුණු කිරීමේ කොටසක් හැටියට අපි දකිනවා.
ඒ නිසා අපි සතුටු වෙනවා ප්‍රවාහන අමාත්‍යංශයත් එක්ක මේ සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන් වීම ගැන. අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා විශේෂයෙන්ම දුර පළාත්වල, ගම්බද පාසල්වලට මාර්ග හරියට නෑ. ඒ ප්‍රදේශවල දරුවන්ගේ ප්‍රවාහන අයිතිවාසිකම තහවුරු වෙන විදිහට මේවා දියුණු වෙන්න ඕන.
ආරක්ෂිතභාවය තහවුරු කරන ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම ගැනත් අපි සාකච්ඡා කරමින් යන්නේ. අපි හිතනවා දරුවන් භාවිත කරන ප්‍රවාහන පහසුකම් තුළ ආරක්‍ෂාව අපි තහවුරු කරදිය යුතුයි. අපිට මතකයි ඉස්සර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවපු කොන්දොස්තරවරු හා රියදුරන්ගේ ඒ ගුණාත්මකභාවය තිබුණා. ඔවුන් පාරේ බස් එක ධාවනය කරන එක විතරක් නෙවෙයි. ඒ බස් එකේ ගමන් කරපු මගියන් ආරක්ෂා කරන්න ඕන කියන කැපවීම හා ආකල්පය තිබුණා.
ඒ ආකල්පමය වෙනසත් අපිට මේ වෙලාවේ අවශ්‍යයි. තමන්ගේ බස් එකේ ඉන්න මගීන් වෙනුවෙන් දක්වන ඒ වගකීම සහ කැපවීම ඒ ආකල්පමය වෙනසත් අපිට අවශ්‍යයි. ඒ නිසා අපි දකිනවා මේ වෙලාවේ ප්‍රවාහන අමාත්‍යංශය හොඳ උත්සාහයක් ගනිමින් සිටිනවා ඒක වෙනස් කරන්න. ඒ ආකල්ප දියුණු කරන්න.
ආබාධ සහිත ප්‍රජාවට , අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බස්වල විතරක් නෙවෙයි අපේ දුම්රිය ස්ථානවල අපේ දුම්රියේ මොනවගේ පහසුකම් ද තියෙන්නේ මේවා සියල්ලම බලන්න ඕන. මගීන්ගේ සනීපාරක්ෂක පහසුකම් අපිට තහවුරු කරන්න වෙනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය