කැනේඩියානු මහ කොමසාරිස් හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. මෙම හමුවේ දී දෙරට අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි තහවුරු කෙරුණු අතර විවිධ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු විය.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමට කැනඩාව කැපවෙන බව මහ කොමසාරිස් වොල්ෂ් අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය කිරීම සහ රටේ ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය නගා සිටුවීමේ වැදගත්කම ඇතුළු ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍ර රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

රටේ සංවර්ධනය සඳහා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, ජාතිය එක්සත් කිරීම මගින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතියේ ඇති වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ශෝබිනි කේ ගුණසේකර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය