භෞතික සංවර්ධනය මෙන්ම මිනිසුන්ගේ අභ්‍යන්තර ජීවිතය ද සෞන්දර්යයෙන් හා සංස්කෘතියෙන් පෝෂණය විය යුතුයි – ’අලුත් වැස්ස’ සංස්කෘතික උළෙලේදී අග්‍රාමාත්‍යතුමිය කියයි

රටක මාර්ග, ගොඩනැගිලි හා ආර්ථිකය දියුණු වන අතරම ජනතාවගේ අභ්‍යන්තර ජීවිතය ද සෞන්දර්යයෙන්, සංස්කෘතියෙන් සහ නිර්මාණශීලීත්වයෙන් පොහොසත් විය යුතු බවත්, සංවර්ධනය, භෞතික සම්පත්වල දියුණුවෙන් පමණක් මැනිය නොහැකි අතර, සහකම්පනය සහ හොඳ රසවින්දනයක් සහිත සමාජයක් ගොඩනැගීම නව පුනරුද යුගයේ ප්‍රධාන අපේක්ෂාව බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සංස්කෘතික දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්‍රීක් සංස්කෘතික සංසදය එක්ව ඔක්තොබර් 15 වන දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සංවිධාන කළ අලුත් වැස්සක් සංස්කෘතික උත්සවය සහ ප්‍රදර්ශනය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

කලාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කළ මහනුවර දිස්ත්‍රික්කයේ කාලාකරුවන් අගයමින් සම්මාන ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යතුමිය අතින් මෙහිදී සිදු කෙරිණි.

අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේ ද පැවසුවාය.

“මහනුවර කියන්නේ අපේ රටේ ඓතිහාසික, කලාත්මක වගේම සංස්කෘතික උරුමයේ අගය හොඳින්ම අත්විඳින්න පුළුවන් තැනක්. ශ්‍රී දළදා මාලිගාව, ඇම්බැක්කේ ලී කැටයම්, දෙගල්දොරුවේ බිතුසිතුවම් වගේම උඩරට නර්තන සම්ප්‍රදායත්, පාණීභාරතයන්, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, මිනෙට් ද සිල්වා වැනි ප්‍රකට කලාකරුවන්ගේ දායකත්වයත් නිසා මහනුවරටම ආවේණික වුණු සංස්කෘතික අනන්‍යතාවයක් ගොඩනැගිලා තියෙනවා.

පසුගිය දවස්වල ඇතිවුණු ආපදා තත්ත්වයෙදි මහනුවර ජනතාව මුහුණ දුන්නු අමාරුකම්වලදී ගාල්ල, මාතර, කළුතර වැනි දිස්ත්‍රික්කවල ජනතාව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම දැක්වූ ඒ සහකම්පනයත්, කැපවීමත් ඇත්තටම අගය කරන්න ඕනේ.

ඒ වගේම මේ ආපදාවෙන් පස්සේ නැවත නැගී සිටින මහනුවර දිස්ත්‍රික්කයේ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම, හානි වුණු ගෙවල් අලුත්වැඩියා කිරීම සහ විනාශ වුණු ඓතිහාසික විහාරස්ථාන මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ප්‍රතිසංස්කරණය කිරීම වැනි වැඩකටයුතු මේ වෙනකොටත් වේගයෙන් කරගෙන යනවා.

අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් බලාපොරොත්තු වෙන්නේ වෘත්තීය දැනුමට විතරක් සීමා නොවී, කලාත්මක සංවේදීතාවය වගේම මානුෂීය ගුණාංගත් තියෙන හොඳ පරපුරක් බිහි කරන්න යැයි අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, අගමික පූජකවරුන් මධ්‍යම පලාත් ආණ්ඩුකාර වෛද්‍ය සුරංග ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවරණ, තනුර දිසානායක, තුෂාරි ජයසිංහ, ඊ.එම්. බස්නායක, යන මහත්ම මහත්මීන්, නගරාධිපතිතුමන් ඇතුළු ප්‍රාදේශිය මන්ත්‍රීවරුන්, දිස්ත්‍රීක් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු ප්‍රාදේශිය ලේකම්වරුන් රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, දෙමව්පියන්, දරු දැරියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය