අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා අතර හමුවක් අද ( 29) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
’දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පසුව සිදු කෙරෙන පුනරුත්ථාපන කටයුතු සහ ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින මානුෂීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමද මෙම සාකච්ඡාවේ අරමුණකි.
2025 දෙසැම්බර් මාසයේදී දියත් කරන ලද ’මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම’ (Humanitarian Priority Plan - HPP) සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක 25ක ජනතාවට සහන සැලසීම සඳහා හවුල්කාර සංවිධාන 81කගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ අතර මෙම වැඩසටහන පසුගිය අප්‍රේල් 30 වන දින සාර්ථකව අවසන් විය.
මෙම සැලැස්ම හරහා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලැබුණු විශාල සහයෝගය අග්‍රාමාත්‍යතුමිය විසින් මෙහිදී ඇගයීමට ලක් කළ අතර, අත්කර ගත් ප්‍රගතිය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළාය.
සාකච්ඡාව අතරතුර, එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස විසින් ’දිට්වා’ සුළි කුණාටුව පිළිබඳ නවතම තත්ත්ව වාර්තාව (Situation Report) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, උපායමාර්ගික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්.යූ.ඒ. වීරසිංහ සහ සංවර්ධන කටයුතු පිළිබඳ සහකාර ලේකම් ශෂිනී අනුපමා, එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් කාර්යාල ප්‍රධානී ඇන්ඩ්‍රියාස් කර්පාටි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ හා මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෂිකා සෝමරත්න සහ ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතා අධ්‍යක්ෂ සමන්මලී අතුලගම යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය