ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ පණිවිඩය

ඔක්තෝබර් 15 වන දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර සුදු සැරයටි දිනයේ දී, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින්ගේ කැපී පෙනෙන ශක්තිය, ස්වාධීනත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව අපි අගය කරමු.

සුදු සැරයටිය සංකේතවත් කරන්නේ ගෞරවයෙන් සහ විශ්වාසයෙන් යුතුව ලෝකය සැරිසැරීමට ඔවුන්ට ඇති නිදහසයි. ප්‍රවේශ්‍යතාව, සහයෝගය සහ බලගැන්වීම මූලික වූ අන්තර්කරණය වූ සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම සහ අවශ්‍යතාවය සුදුසරයටිය සියලු දෙනාටම පසක් කරයි.

දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් හට අභිමානවත් පුරවැසියන් ලෙස සමාන සහ සාධාරණ අවස්ථාවන් සහ අයිතිවාසිකම් භුක්ති විදීම තහවුරු කිරීම මූලික කොට ගනිමින් ලෝක සුදු සැරයටි දිනය බිහි විය.

ජනතාවට වග කියන රජයක් වශයෙන් අවකාශයන්ට ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම, අධ්‍යාපනික සහ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ යහපැවැත්ම සඳහා අපගේ සේවාවන් ශක්තිමත් කිරීම මගින් දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවී සිටී. ඒ වෙනුවෙන් අපි සියලු පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන්නෙමු.

මේ වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට අප හා එක්වන මෙන් ඔබ සියලු දෙනාටම ඇරයුම් කරමි.

ආචාර්ය හරිනි අමරසුරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 ඔක්තෝබර් 15 දින