පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය දියුණු කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් යම් නියාමනයක් තුළ පූර්ව ළමා විය අධ්‍යාපනය පවත්වාගෙන යන්න රජය ක්‍රියා කරමින් සිටිනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය දියුණු කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් යම් නියාමනයක් තුළ පූර්ව ළමා විය අධ්‍යාපනය පවත්වාගෙන යන්න රජය ක්‍රියා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය

"සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශීලි අනාගත පරපුරක්" යන තේමාවෙන් පැවති ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂය මාලා රාමුව පිළිබඳ පුත්තලම් දිස්ත්‍රික් පෙර පාසල් ගුරුභවතුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනවාරි 16 දින හලාවත සුදසුන ශාලාවේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීවාය.

අපි රජයක් හැටියට 2024 දී ප්‍රධාන ඉලක්කයක් වුණේ මේ රටට පරිවර්තනීය වෙනසක් ඇති කරන්නයි. ඒ පරිවර්තන වෙනස වෙනුවෙන් අපිට ප්‍රධාන වගකීමක් තිබෙනවා. අපි රට භාර ගන්න වෙලාවේ තිබුණේ. නොසැලෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමත් මූලික සහ ප්‍රධාන වගකීමක්. හැබැයි මම හිතනවා ඒ හා සමාන වගකීමක් සහ සමාන බරක් අපේ රජය මේ රටේ අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට ලබා දි තිබෙනවා. ඒක අරමුණු කරගෙන තමා අපි රටේ බලයට පත්වුණේ . අපේ පක්ෂය තුළ අපේ දේශපාලන ව්‍යාපාරය තුළ අධ්‍යාපනය පිළිබඳ ඇතිවිය යුතු වෙනස්කම් ගැන අපි කතා කරන්න පටන් ගත්තේ අද ඊයේ නොවෙයි. කාලයක්ඉ තිස්සේ ගොඩනැගුණ කාරණයක් ඒක.

මේ පරිවර්තනය එක රැයින් එක අවුරුද්දෙන් කරන්න බැහැ ඒක පියවරෙන් පියවර ඉදිරියට ක්‍රියාත්මක වන වැඩසටහනක්. අධ්‍යාපනය පද්ධතිය තුළ අපි සිදු කිරීමට බලා පොරොත්තු වන මේ තීරණාත්මක වෙනසේ දී , ගුණාත්මක වෙනසේ දී තුළ සමස්ථ පද්ධතිය දිහාම බලන්න අවශ්‍යයි. දරුවෙක්ගේ අධ්‍යාපනයේ සෑම කොටසක්ම සෑම පියවරක් දිහාම අපි බලලා තමයි මේ මැදිහත්වීම කරන්නේ. ඒ නිසාම අපි පූර්ව ළමා විය අධ්‍යාපනය කියන එක වුරුදු 1ත් 5ත් වෙනකන් ඒ ලැබිය යුතු සංවර්ධනය අධ්‍යාපනයේ කොටසක් ලෙස අපි පිළිඅරගෙන තියෙනවා.

ඒ කියන්නේ අපේ අධ්‍යාපන ව්‍යුහයේ පළවෙනි පියවර හැටියට අපි දකින්නේ පුර්ව ළමා විය සංවර්ධනයයි. අද පූර්ව ළමා විය සංවර්ධනය තියෙන්නේ අවිධිමත් ආකාරයටයි, අපිට අවශ්‍ය විධිමත් ලෙස පූර්ව ළමා විය අධ්‍යාපනය සංවර්ධනය කරන්න වගේම ඔබේ වෘත්තීය භාවය දියුණු කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් යම් නියාමනයක් තුළ පූර්ව ළමා විය අධ්‍යාපනය පවත්වාගෙන යන්නයි.

ඒ වෙනුවෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව කමිටුවක් පත් කරලා පූර්ව ළමා විය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කරන්නත් විෂය රාමුවක් සකස් කරන්නත් අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර තිබෙන්නේ. අපි ගිය වසර තුළ පෙර පාසල් විෂය මාලා රාමව සකස් කළා. විධිමත් විදිහට රට පුරා විසිරී තිබෙන පෙර පාසල් එක් විෂය මාලාවක් තුළ ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරමින් යනවා. පූර්ව ළමාවිය සංවර්ධනයත්, ප්‍රාථමික, ද්විතීක අධ්‍යාපනය වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ඒකාබද්ධ කිරීම අවෂ්‍යයි. මොකද පූර්ව ළමා විය සංවර්ධනය කියන්නේ පුද්ගල ජීවිතයේ ඉතාම වැදගත් කොටසකි දරුවා සමාජානුයෝජනය කිරීම, ක්‍රමවත්ව සමාජයට හුරුකරවීම, විනයක් සහිතව සහකම්පනය ඇති දරුවකු නිර්මාණය කිරීමේ වගකීම තිබෙන්නේ ඔබටයි. ඒක ප්‍රාථමික අංශයේදී හෝ ඉන් එහාට සිදු කළ හැකි දෙයක් නෙමෙයි.

බොහෝ අයගෙන් එන චෝදනාවක් තමයි පෙර පාසලේදී අකුරු සහ ගණන් කියා දෙන්නේ නැහැ කියන එක නමුත් පූරිව ළමා විය සංවර්ධනය කියන්නේ දරුවා සමාජ කුසලතාවලට හුරුකරවීම මිස පාසල් අධ්‍යාපනය ලබා දෙන තැනක් නෙමෙයි.

දෙමාපියන්ට තමන්ගේ දරුවා සුරක්ෂිතව තබා යන්න විශ්වාසයක් ඇති තැනක් බවට පෙරපාසලත් පාසලත් පත් කර ගැනීමත් අපේ රජයේ අරමුණක්.

අපි දන්නවා ඔබේ දීමනා,විශ්‍රාම වැටුප් පිලිබඳ ගැටළු තිබෙනවා ඒ පිලිබඳ අධ්‍යාපන අමාත්‍යංශයත්, ළමා හා කාන්තා අමාත්‍යංශයත් එක්ව සාකච්ඡා කරමින් යනවා. පාසලට ඇතුළත් කිරීමේදී පෙර පාසල් සහතිකයට වටිනාකමක් ලබා දීම ඉතා වැදගත් ඒ සියලු කාරණා පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවද අග්‍රාමාත්‍ය ආචිර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගයාන් ජානක, හිරුණි විජේසිංහ, මොහොමඩ් ෆයිසාල් යන මහත්ම මහත්මීන් වයඹ පළාත් පූර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරු භවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය