ඉතිහාසය සහ චිත්‍ර කලාව විෂයයන් තුළින් දමිළ ඉතිහාසය සහ කලා කෘති පිළිබඳ කරුණු ඉවත් කර නැහැ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ඉතිහාසය සහ චිත්‍ර කලාව විෂයයන් තුළින් දමිළ ඉතිහාසය සහ කලා කෘති පිළිබඳ කරුණු ඉවත් කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම් සහ ශිවඥානම් ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත්කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

යාපනය දිස්ත්‍රීක්කයේ එළුවතිව් දූපතේ පාසල් දෙකක් තිබෙනවා. 1999 සිට විභාගමධ්‍යස්ථානයක් ලෙස මේ පාසල භාවිත කර නැහැ. මේ පාසල් වල දරුවන් සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටියේ කයිටිස් දූපතේ පිහිටි සෙන් ඇන්තනී විද්‍යාලයේ විභාගමධ්‍යස්ථානයේදී යි. එළුවතිව් දූපතේ පිහිටි පාසල් වල විභාගයට පෙනී සිටින දරුවන් ප්‍රමාණය ඉතා සීමිත පිරිසක් නිසා විභාගමධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිහින් නැහැ. සංඛ්‍යාත්මකව ගත්තොත් 2022 දී ළමයි 10ක්, 2023 දී ළමයි 08ක් 2024 දී ළමයි 05ක් ලෙස තමයි සාමාන්‍ය පෙළ සඳහා ඉල්ලුම් කර තිබෙන්නේ. ඒ නිසා විභාග මධ්‍යස්ථානයක් ලෙස මේ පාසල් භාවිත කර නැහැ ආසන්නතම විභාග මධ්‍යස්ථානය වෙත මේ දරුවන් යොමු කර තිබෙනවා. ඒ වගේ ම ඒ දරුවන්ට කයිට්ස් දූපතේ පිහිටි විභාග මධ්‍යස්ථානවෙත යන්න අවශ්‍ය ප්‍රවාහන පහසුකම් පිළිබඳ අපි අවදානය යොමු කරනවා.

ඒ වගේම දැනට ක්‍රියාත්මක ඉතිහාසය විෂය තුළ දමිළ රජවරු පිළිබඳ අන්තර්ගත කර තිබෙනවා. 10 වන ශේණියේ 07 වන පාඩමේ ඒ වෙනුවෙන් පරිච්ඡේදයක් වෙන් කර තිබෙනවා. ඒ වගේම 10 වන ශෙණියේ 10 වන පාඩමේ යාපනය රාජධානිය පිළිබඳ පරිච්ඡේදයක් ඇතුලත් කර ඇති අතර එහි සංගිලි රාජ්‍ය සමය පිළිබඳ අන්තර ගත කර තිබෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපි දැනට 6 වන වසරට ඉතිහාසය පිලිබඳ අලුත් නිර්දේශයන් සකස් කර තිබෙනවා එහි සංගිලි රාජධානියේ පින්තූරයක් ද ඇතුලත් කර තිබෙනවා. ඉතිහාසය විෂයක් ලෙස ඉගැන්වීමේදී සිංහල සහ දමිළ ලෙස බෙදා වෙන් කර ඉගැන්වීම් සිදු කරන්නේ නැහැ. ශ්‍රී ලාංකික ඉගිහාසය ලෙස විවිධ කාල පරිච්ඡේද වල රජවරු සහ රාජ්‍යයන් පිළිබඳ උගන්වනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සුරක්ෂිත කිරීමේ සහ ප්‍රදර්ශනය කිරීමේ පුරෝගාමියා ලෙස ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් දමිළ ඉතිහාසය ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රදර්ශන මැදිරිතුළ ඉඩකඩ වෙන් කර තිබෙනවා. කොළඹ කෞතුකාගාරයේ ශිලා පුරාවස්තු මැදිරි තුළ දමිළ ටැම් ලිපි හතරක් සහ දමිළ ශිලා ලිපි දෙකක් ප්‍රදර්ශනය කර තියෙනවා. මේ ලිපි ඉන්දියාවේ රාජ රාජ සහ රාජේන්ද්‍රාධිරාජයන්ගේ මෙරට නියෝජිතයන්ගෙන් සහ ආර්ය චක්‍රවර්ති ආර්යයන් විසින් පිහිටුවා ඇති ලිපි. ඒ වගේම කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති දමිළ සෙල්ලිපි පිලිබඳ තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් මහාචාර්ය එස් පද්මනාදන් විසින් රචනා කර ඇති අතර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශය විසින් අලෙවි කිරීමද සිදු කරනවා. ඒ වගේම හින්දු ආගමට අයත් ශිව, පාර්වති, නටරාජ්, සුන්දර මූර්ති ඇතුළු තවත් බොහෝ ශෛලමය සහ ලෝකඩ පිළිම සහ මූර්ති ගණනාවක් ප්‍රදර්ශනය කර තිබෙනවා. මීට අමතරව යාපනය රාජධානියේ භාවිත වූ සේතු කාසි එකතුවක් සුරක්ෂිතව ගබඩා කර තිබෙනවා. කොළඹ ජාතික කෞතුකාගාරය සතු සංගම් යුගයට අයත් චෝල සහ පාණ්ඩ්‍ය කාසි පිළිබඳ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සහ සෙනරත් වික්‍රමසිංහ විසින් රචිත ග්‍රන්ථයක් ද සංරක්ෂිත කර තිබෙනවා.

චිත්‍ර කලාව විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ විශිෂ්ට කලා කෘති අධ්‍ය්‍යනය කිරීම්වලින් යුතු විෂයක්. මේ විෂය සකස් කිරීමේදී විශේෂයෙන් සර්ව ජාතික, සර්ව ආගමික, සර්ව භෞමික කලා කෘතීන් ඇතුලත් ජාත්‍යන්තර ප්‍රමිතීන් සළකා බැලුවා. චිත්‍ර කලාව විෂය පිලිබඳ ප්‍රතිසංස්කරණ වලදි මේ ගැන වඩාත් අවධානයක් යොමු කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය