එක්සත් ජාතීන්ගේ මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඔක්තෝබර් 07 වන දින පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
මෙහි දී ශ්‍රී ලංකාවේ පෙර පැවති මැතිවරණවල විනිවිදභාවය සහ නිරවද්‍යතාවය පිළිබඳව ඇගයීමක් සිදුකළ අතර මැතිවරණ කටයුතු පාලනය සම්බන්ධ ආයතනයන්හි නීතිමය හා මෙහෙයුම් කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන මැතිවරණ ආයතනවල ප්‍රමාණාත්මකභාවය සහ සූදානම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සහ දේශපාලනික පාර්ශවකරුවන්ගේ මැදිහත්වීම පිළිබදව ද අවධානය යොමු විය.
එක්සත් ජාතීන්ගේ තාක්ෂණික මැතිවරණ අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් ලංකාවේ පවතින මැතිවරණ ක්‍රමවේදය පිළිබඳව සැළකිල්ලට ගනිමින් මැතිවරණ ක්‍රියාවලියෙහි විනිවිදභාවය සහ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා පවතින අභියෝගවලට පිළියම් සෙවීම වෙනුවෙන් තම සහයෝගය ලබාදීමට සුදානම් බව පැවසීය. කාන්තාවන් සහ අනෙකුත් සුළුතර ප්‍රජාවන්ගේ නියෝජනය වැඩි කිරීම, මැතිවරණ කටයුතු සදහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබාදීම සදහා පවතින අවකාශයන් සොයා බැලීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය.
මැතිවරණ ක්‍රියාවලියේ දී කාන්තා නියෝජනය වැඩි කිරීම සදහා ඔවුන් අපේක්ෂිකාවන් ලෙස පමණක් නොව සක්‍රීය ඡන්දදායකයන් ලෙස ද දායක කරගැනීම සදහා උනන්දුකරවීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. නිදහස්, සාධාරණ සහ ව්‍යවස්ථානුකූල මැතිවරණ පැවැත්වීම සඳහා ප්‍රචණ්ඩත්වය, දූෂණය සහ රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීමේ වැදගත්කම එතුමිය වැඩිදුරටත් අවධාරණය කළාය.
මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, මැතිවරණ සහය අංශයේ අධ්‍යක්ෂ (DPPA), Michele Griffin මහතා, මැතිවරණ ප්‍රතිපත්ති විශේෂඥ Dan Malinovich, දේශපාලන කටයුතු නිලධාරිනී (ආසියාව සහ පැසිපික් අංශය) (DPPA-DPO) Amanda Stark මහත්මිය සහ දේශපාලන/මැතිවරණ කටයුතු නිලධාරි Mikyong Kim මහතා ඇතුළු එක්සත් ජාතීන්ගේ මූලස්ථානය සහ UNDP හි ශ්‍රී ලංකාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය