අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්න. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ අද (11) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

මේ රට පොහොසත් සංස්කෘතීන් සම්ප්‍රදායන් තිබෙන රටක්, අපට පොහොසත් ඉතිහාසයක් තිබෙනවා.

කරෙයිනගර් ගැන මට ලැබුණු තොරතුරුවලින් මම හරි සංවේගයට පත වුණා. 1977 දී කරෙයිනගර්වල මිනිසුන් 80,000 ක් පමණ ජීවත් වූ වෙලා තිබෙනවා. නමුත් අවාසනාවට අද ඉන්නේ 10,500යි. ඉතිරි අයට මොකද වුණේ? ඒ වගේම මම දැනගත්තා උතුරු පළාතේ ධනවත්ම සහ උගත් මිනිසුන් ඉන්නේ කරෙයිනගර්වල කියලා ඒක හරි අපූරුයි. නමුත් ප්‍රශ්නය ඔවුන්ට ඉගෙනීමට, ධනවත් වීමට සහ ඔවුන්ට යමක් කිරීමට කරෙයිනගර් හැර යාමට සිදු වීමයි.

එහෙම යන්න බැරි වුණ ජනතාව ගැන කවුද කතා කරන්නේ ඔවුන් අපේ රටේ පුරවැසියන් ඔවුන්ටත් අන් සියල්ලන්ටම සමාන අයිතිවාසිකම් හිමි විය යුතුයි. මම අධ්‍යාපන අමාත්‍යවරිය නිසා කරෙයිනගර්වල අධ්‍යාපනය ගැන විමසා බැලුවා. එහිදී දැනගත්තේ උසස් පෙළ අධ්‍යාපනය ලබා දෙන පාසල් දෙකක් විතරයි තියෙන්නේ කියලා. ගුරුවරු දෙන්නෙක් විතරයි ඉන්නේ. ඒ වගේම පහේ ශිෂ්‍යත්වය සමත් වන සියලුම දරුවන් කරෙයිනගර් අතහැරලා වැඩිදුර අධ්‍යාපනය සඳහා යාපනයට යනවා.

මේ වෙනකම් මේ රටේ ආණ්ඩු තිබුණා, ජනාධිපතිවරු හිටියා, ජාතික ආණ්ඩු තිබුණා, මේ ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන තිබුණා, පළාත් ආණ්ඩු තිබුණා. නමුත් කරෙයිනගර් වැසියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සම්බන්ධයෙන් ඔවුන් මොනවද කරලා තිබෙන්නේ.

මිනිසුන්ගේ වටිනාකම් වැඩිවෙන්නේ අධ්‍යාපනයෙන්, ජනතාව සමෘද්ධිමත් වෙන්නේ අධ්‍යාපනයෙන්. අධ්‍යාපනය කියන්නේ ඉතා වැදගත් දෙයක්, නමුත් මේ ප්‍රදේශයට ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ඇති අයිතිය දශක ගණනාවක් තිස්සේ අහිමි වෙලා. ඒ වගේම මේ ප්‍රදේශයේ වතුර ප්‍රශ්නයක් තියෙනවා. ජලය මූලික අවශ්‍යතාවයක්, ජනතාවට පිරිසිදු ජලය ලබා ගැනීමට මුදල් ගෙවන්න වෙලා. මේ ප්‍රදේශයට පානීය ජලය ලබාදීමට ආරම්භ කළ විවිධ ව්‍යාපෘති දූෂණය නිසා කවදාවත් අවසන් කරන්න ලැබිලා නැහැ.

ප්‍රාදේශිය මට්ටමින් පාරවල්, ප්‍රවාහනය ඇතුළු බොහෝ දේවල් අතපසු වෙලා තිබෙන්නේ දුෂණය නිසයි. යුද්ධය අවසන් වෙලා වසර 16 ක්, එදා සහ අද අතර සිදුවෙලා තිබෙන වෙනස මොකක්ද? මේ තිබෙන ගැටළු තවමත් විසඳා නැත්තේ ඇයි? මෙන්න මේ නිසයි පළාත් පාලන මැතිවරණය ඉතා තීරණාත්මක වෙන්නේ. ප්‍රාදේශීය මට්ටමින් තිබෙන ප්‍රශ්න පළාත් පාලන ආයතනවලින් විසඳිය යුතු ප්‍රශ්න.

මීට මාසයකට පමණ පෙර අපි පළමු අයවැය සම්මත කළා, එමගින් අධ්‍යාපනයට, සෞඛ්‍යට, ජනතා සුභසාධනයට, යටිතල පහසුකම්වලට, පොදු ප්‍රවාහනයට මේ හැමදේටම සියලුම පළාත් පාලන ගිණුම්වලට විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර තිබෙනවා. නමුත් ඒ මුදල් බුද්ධිමත්ව වියදම් කළ යුතුයි.

ඒ සඳහා දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් පළාත් පාලන ආයතනවලටත් අවශ්‍යයි. ඒ නිසා මෙවර මැතිවරණයෙන් දුෂණ වංචා වලින් තොර ජනතාව වෙනුවෙන් කැපවෙන පිරිසක් අපි තෝරාගත යුතුයි. 2024 මේ රටේ ජනතාව රට වෙනුවෙන් තීරණය ගත්තා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. යළිත් වතාවක් ගම වෙනුවෙන් කල්පනාකාරීව තීරණයක් ගන්න අවස්ථාවක් ජනතාවට මැයි 06 වන දින එළඹෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙහිදී අදහස් දැක් වූ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ,

අද අපි ප්‍රාර්ථනා කළ දේශපාලන සදාචාරය මේ රටේ ඇතිවෙලා තිබෙනවා. පැවති රජයන්වල පාලකයන් වගේ තමන් ධනවත් වෙන්න වත්මන් රජයේ නියෝජිතයන් කටයුතු කරන්නේ නැහැ. තමන්ට ලැබෙන වැටුප පවා ආපහු ලබා දෙන මහජන නියෝජිතයන් අද ආණ්ඩුවේ ඉන්නවා.

රාජ්‍ය සේවකයන්ට අද වැඩිපුර වැටුපක් හිමි වෙනවා. රජය ජනතාව වෙනුවෙන් ගත හැකි සියළු ධනාත්මක තීරණ ගන්නවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ශ්‍රී භවන්, ඉලයන්කුමාර් ඇතුළු මහජන නියෝජිතයින් පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය