ශ්‍රී ලංකාවේ දරුවන් සයිබර් තර්ජන, මාර්ගගත (Online) ප්රචණ්ඩත්වය සහ ඔවුන්ගේ යහපැවැත්මට සිදුවන සෘණාත්මක බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා නියාමන සහ අධ්‍යාපනික විසඳුම් සහිත විස්තීර්ණ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජූලි 21 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්විය.
ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ (Digital Education Task Force) බහු-විෂයයික ක්‍රියාකාරී කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද මෙම විශේෂ සාකච්ඡාවේදී, දරුවන්ට ඩිජිටල් අවකාශයට පිවිසීමෙන් ලැබෙන ප්රතිලාභ තහවුරු කරන අතරම, මාර්ගගතව සිදුවන හානිවලින් ඔවුන් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කෙරිණි.
ලොව පුරා රටවල් ගණනාවක්ම ළමුන් සමාජ මාධ්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් වයස් සීමාවන් පැනවීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින පසුබිමක, මෙවැනි තහනම් කිරීම් හඳුන්වාදීමේ සහ බලාත්මක කිරීමේ ඇති සංකීර්ණ ක්‍රියාවලිය මෙන්ම දරුවන් ආරක්ෂා කිරීම සඳහා එවැනි පියවරවල ඇති සඵලදායිතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
ප්‍රථමයෙන් මෙවැනි තහනමක් පැනවූ රටේ සිදුකරන ලද අධ්‍යයනයකට අනුව, දරුවන්ගෙන් 85% ක්ම වෙනත් ක්‍රම ඔස්සේ තවදුරටත් එම ප්ලැට්ෆෝම් (Platforms) භාවිතා කළ බව නිරීක්ෂණය වී තිබේ.
එමෙන්ම, මෙවැනි තහනමක් මගින් ඉගෙනුම් අවස්ථා අහිමි වීම, අවදානම් සහිත වෙනත් ප්ලැට්ෆෝම් භාවිතය ඉහළ යාම, සාමාජික සබඳතා බිඳවැටීම සහ සියලු පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වයට එල්ලවන අවදානම් ඇතුළු ඇතිවිය හැකි අහිතකර අතුරු ප්‍රතිඵල පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
ළමුන් මුහුණ දෙන විවිධ මාදිලියේ හානි එනම් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්වීම (Grooming and exploitation), අහිතකර අන්තර්ගතයන්ට නිරාවරණය වීම, නින්දට බාධා වීම, ඇබ්බැහි කරවන සුළු මාර්ගගත හැසිරීම් සහ මනෝවිද්‍යාත්මක හා මානසික යහපැවැත්මට සිදුවන සෘණාත්මක බලපෑම් වැනි ගැටලුවලට සඵලදායී ලෙස පිළියම් යෙදීම සඳහා විවිධ මෙවලම් සහ උපාය මාර්ගයන්ගෙන් සමන්විත ’බුද්ධිමත් සංයෝජනයක්’ (Smart mix) නිර්දේශ කරන ලදී. මෙම උපාය මාර්ග අතරට ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම, දෙමාපියන් සහ දරුවන් බලගැන්වීම මෙන්ම මාර්ගගත ප්ලැට්ෆෝම්වල වගවීම වැඩි කිරීම, ඇබ්බැහි කරවන විශේෂාංග අක්‍රිය කිරීම, ’සැලසුමෙන්ම සුරක්ෂිතභාවය’ (Safety-by-design) කෙරෙහි අවධානය යොමු කිරීම සහ සිදුවන හානි සඳහා සඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම යන කරුණු ඇතුළත් වේ.
ළමා මාර්ගගත ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම සඳහා සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයක් සහ අමාත්‍යාංශ අතර සහයෝගීතාවයෙන් යුතු විස්තීර්ණ ප්‍රවේශයක් අනුගමනය කිරීමට රජය සතු කැපවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙම ක්‍රියාවලියට සමගාමීව, සිසුන්, අධ්‍යාපනඥයින් සහ දෙමාපියන් උදෙසා මාර්ගගත ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම වෙනුවෙන් සකස් කරන ලද පාසල් මට්ටමේ කෙටුම්පත් මාර්ගෝපදේශ මාලාවක්ද මෙහිදී ඉදිරිපත් කරන ලදී.
නැගී එන අවදානම් සහ හානිකර මූලාශ්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, ජාත්‍යන්තර රාමු, ජාතික අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ දැනට පවතින මූලාශ්‍ර ඇසුරින් මෙම මාර්ගෝපදේශ සකස් කර ඇති අතර සුදුසු බලධාරීන්ගේ අනුමැතියෙන් පසුව, අදාළ පුහුණු කිරීම් සහ දිශානති වැඩසටහන්ද සමගින් මෙම මාර්ගෝපදේශ දිවයින පුරා පිහිටි පාසල් වෙත ලබාදීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය එරංග වීරරත්න, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය