මහාචාර්ය පූජ්‍ය මහඔයේ ජිනරතන නායක හිමිපාණන් සංඝනායක පදවියෙන් පිදුම් ලබයි

වෙල්ලස්ස, බින්තැන්න සහ නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මහාචාර්ය පූජ්‍ය මහඔයේ ජිනරතන නායක හිමිපාණන් පිළිගැනීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් මැයි 14 දින බිබිල ඓතිහාසික පොතුබන්ධන රාජමහා විහාරයේදී සිදු කෙරිණි.

මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹරේ විමලධම්ම නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් වෙල්ලස්ස, බින්තැන්න සහ නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය වෙනුවෙන් වූ සන්නස් පත්‍රය මහාචාර්ය පූජ්‍ය මහඔයේ ජිනරතන නායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වීම සිදු කළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

1982 වසරේ පැවිදි දිවියට ඇතුළත් වූ නායක හිමියන් දශක හතරකට අධික කාලයක් බුද්ධ ශාසනය සහ සමාජය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට කැපවීම සමස්ත සමාජයටම ආදර්ශයක් ශ්‍රී සරණංකර සහ ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල් පවත්වාගෙන යාම මෙන්ම, දීඝවාපී මූලික පිරිවෙනේ පරිවේණාධිපති ලෙස ඉටුකරන මෙහෙවර ඉතා වැදගත් බව සිහිපත් කළ යුතුයි.

වාර්ෂිකව දරුවන් සිය ගණනකට අධ්‍යාපන උපකරණ ලබා දෙමින් සිදුකරන මානුෂීය සහයෝගය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට මහත් ශක්තියක්. ඒවගේම ඓතිහාසික දීඝවාපී මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ අනෙකුත් විහාරස්ථානවල දියුණුව උදෙසා නායක හිමියන් ගෙන යන වැඩපිළිවෙළ අපි අගය කරනවා.

අම්පාර රෝහලේ භික්ෂු වාට්ටුවක් ඉදි කිරීම වැනි කටයුතු හරහා නායක හිමියන්ගේ පරාර්ථකාමීත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙනවා. වෙල්ලස්ස සහ බින්තැන්න වැනි ඓතිහාසික වැදගත්කමක් ඇති ප්‍රදේශවල ජනතාවගේ අධ්‍යාත්මික හා ලෞකික දියුණුව වෙනුවෙන් පෙනී සිටින නායක ස්වාමීන් වහන්සේලා රටට ඉතාමත් අවශ්‍ය බවත්, මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් මෙම පදවිය පිරිනැමීම එම පළාත්වල ජනතාවට ලැබුණු ගෞරවයක් බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඌවපළාත් ආණ්ඩුකාරතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්,දායක දායිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය