එමෙන්ම පාර්ලිමේන්තුවේ වගකීම ආයෝජන සඳහා වියදම් ඇස්තමේන්තු කිරීමට පමණක් සීමා නොවිය යුතුයි.
රාජ්‍ය වියදම් මඟින් අපේක්ෂිත සමාජීය හා ආර්ථික ප්‍රතිඵල සැබවින්ම අත්කර දෙන්නේද යන්න සොයා බලා කටයුතු කිරීම එහි වගකීමයි.
2026 ජූලි 21 දින පැවති “සුරැකුම් ආර්ථිකය සඳහා මූල්‍යකරණය: ඒ සඳහා පාර්ලිමේන්තුවේ භූමිකාව” (Financing the Care Economy: The Role of Parliament) යන වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය.
වෙස්ට්මින්ස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පදනම (Westminster Foundation for Democracy - WFD) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණු අතර ආර්ථිකය හා මූල්‍ය අංශය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ සමාජ රැකවරණය යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
සමාන ස්ත්‍රී පුරුෂ සහභාගීත්වය ඇතුළත් ආර්ථික හා අයවැය විශ්ලේෂණයක් තුළින් ආර්ථික වර්ධනයට ඇති බාධක හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම මෙම සාකච්ඡාවන්හි ප්‍රධාන අරමුණ වූ අතර සුරැකුම් ආර්ථිකය සඳහා ආයෝජනය කිරීමේ වැදගත්කම සහ ඉදිරි රාජ්‍ය අයවැය තුළ සමාජ රැකවරණය සඳහා ඉලක්කගත ආයෝජන ඇතුළත් කිරීම සඳහා ගත යුතු ප්‍රායෝගික පියවර පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ප්‍රමාණවත් සහ දැරිය හැකි මිලකට රැකවරණ සේවා නොමැති විට පවුල්වලට තනිව විසඳුම් සොයා ගැනීමට සිදුවන බවයි. බොහෝ අවස්ථාවලදී ඒ සඳහා තම ජීවිත වෙනස් කර ගැනීමට සිදුවන්නේ කාන්තාවන්ට බවත්, ඒ හරහා ඔවුන්ගේ සේවා කාලය අඩු වීම, රැකියා අවස්ථා ප්‍රතික්ෂේප කිරීම, වෘත්තීය ජීවිතය අතරමග නතර කිරීම හෝ ශ්‍රම බලකායෙන් සම්පූර්ණයෙන් ඉවත් වීම වැනි තීරණ ගැනීමට පෙළඹෙන බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළා ය. එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට ආදායම, වෘත්තීය අවස්ථා සහ ආර්ථික ස්වාධීනත්වය අහිමි වන අතර, රටට ද කුසලතා, දැනුම සහ ඵලදායී ශ්‍රම ශක්තිය අහිමි වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
සුරැකුම් සේවා තවදුරටත් පෞද්ගලික වගකීමක් ලෙස නොසලකා, ජාතික ආර්ථික සහ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
“රැකවරණ කටයුතු පවුලක් තුළ පමණක් ඉටු කළ යුතු පෞද්ගලික වගකීමක් ලෙස සැලකීම අප නතර කළ යුතුයි. සුරැකුම් සේවා යනු සමාජයේ සමස්ත වගකීමක්. එය ආර්ථික ගැටලුවක් වගේම එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ ගැටලුවක්. එමෙන්ම ඒ තුළින් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කාරණාව ද කතා බහට ලක් වනවා.” යැයි සඳහන් කළාය.
රැකවරණ ආර්ථිකය සඳහා ආයෝජනය කිරීම සමාජ සුබසාධනය සඳහා දරන වියදමක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ මානව ප්‍රාග්ධනය ශක්තිමත් කරන උපායමාර්ගික ආයෝජනයක් බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. දැරිය හැකි මිලකට ළමා රැකවරණ සේවා, ගුණාත්මක මුල් ළමාවිය අධ්‍යාපනය, වැඩිහිටි රැකවරණ සේවා, ආබාධ සහිත පුද්ගලයන් සඳහා සහාය සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධති මඟින් කාන්තාවන්ට වැඩි වශයෙන් ශ්‍රම බලකායට එක්වීමට අවස්ථාව සැලසෙන අතර, ඒ තුළින් රැකවරණ අංශය තුළ නව රැකියා අවස්ථා බිහි කරමින් පවුල් සහ ප්‍රජාවන් ශක්තිමත් වන බවද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
එහිදී අග්‍රාමාත්‍යවරිය,
“අයවැය යනු හුදෙක් මූල්‍යමය ලේඛනයක් පමණක් නොවේ. එය රටක් ලෙස අපගේ ප්‍රමුඛතා පිළිබිඹු කරන දෙයක්. එමඟින් රාජ්‍ය සම්පත් සඳහා ආයෝජන වෙන් කිරීම සම්බන්ධයෙන් අප ගන්නා තීරණ මෙන්ම අප වටිනාකම ලබා දෙන්නේ කුමක් සඳහා ද, රටේ සංවර්ධනය සඳහා වැදගත් ලෙස සලකනු ලබන්නේ කුමක්ද යන්න පැහැදිලි වනවා.”
තරගකාරි සහ සියලු දෙනාට අවස්ථා සලසන ආර්ථිකයක් ගොඩනැගීමට නම්, කාන්තාවන්ට ආර්ථික ක්‍රියාකාරකම්වල පූර්ණ වශයෙන් සහභාගි විය හැකි සමාජ යටිතල පහසුකම් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
සේවා සුරැකුම් සේවා ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, පාර්ලිමේන්තුවේ වගකීම රාජ්‍ය වියදම් අනුමත කිරීමට පමණක් සීමා නොවිය යුතු අතර, සුරැකුම් සේවා සඳහා යටිතල පහසුකම්, සමාජ ආරක්ෂණය සහ වැටුප් නොලබා සිදු කරනු ලබන සුරැකුම් සේවා මත බර අඩු කරමින් පොදු සේවා සඳහා ආයෝජන වෙන් කිරීම අයවැය තුළ නිසි ලෙස සිදු කරනවා ද යන්න සහතික කිරීමද එහි වගකීමක් වන බව සඳහන් කළා ය.
ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ශක්තිමත් සාක්ෂි පදනමක් අවශ්‍ය බවද අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නා ය.
මෙම අවස්ථාවට කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා, කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපතිනි සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සාමාජිකයින්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, ශ්‍රී ලංකාවේ වෙස්ට්මින්ස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පදනමේ (WFD) අධ්‍යක්ෂ සහ නියෝජිතයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින්, විෂය ක්ෂේත්‍ර විශේෂඥයින් සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය