කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත, විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ උපාධිධාරීන් රජයේ පුරප්පාඩු සඳහා බඳවා ගන්නවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රාජ්‍ය සේවා බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව, විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ උපාධිධාරීන් ඉදිරියේදී බඳවා ගැනීම සිදු කරනු ලබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නොවැම්බර් 26 දින පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

වර්තමාන ශ්‍රී ලංකාවේ රැකියා විරහිත පිරිස තුන් ලක්ෂ හැටපන්දහස් නවසිය පනස් එකයි. රැකියා විරහිතභාවය අවම කිරීම සඳහා රජය විසින් කෙටි කාලීන, මාධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් පියවර ගණනාවක් ගෙන තිබෙනවා.

ඒ අනුව සාර්ව ආර්ථික ඉලක්කයක් ලෙස ඉදිරි වසර කීපය තුළ, ප්‍රතිශතාත්මක ඉලක්ක ලෙස 2025 වසරේදී 4.4% කින් ද 2026 සහ 2027 වසරවල දී 4.2% කින් ද රැකියා විරහිතභාවය අවම කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.

වර්තමාන රජය විසින් උපාධිධාරීන් 35 000-40 000 පමණ ප්‍රමාණයකට රැකියා ලබා දීමට ඉදිරි සැලැස්මක් සකස් කර ඒ අනුව රාජ්‍ය සේවයේ පුරප්පාඩු ඇති තනතුරු සඳහා රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ බඳවා ගැනීමේ කටයුතු සිදු කරනු ලබනවා.

දැනට කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුව මඟින් 12 309ක ප්‍රමාණයක් බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. එම බඳවා ගැනීම් බඳවා ගැනීමේ පටිපාටියට අනුව අමාත්‍යාංශ මට්ටමින් සිදුකෙරෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 - I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් 25 000 ක් බඳවාගැනීම පිළිබඳව අභියාචනාධිකරණයේ පැවති නඩුවේ අවසන් තීන්දුව නිල වශයෙන් ලබා දුන් වහාම එම බඳවා ගැනීම් කටයුතු සිදු කිරීමට පියවර ගන්නවා. ඒ අනුව උපාධිධාරීන් 37000 කට පමණ රැකියා ලබා දීමට ඉදිරියේදී රජය කටයුතු කරන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය