දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි වියට්නාම් ජනාධිපති පාර්ලිමේන්තුව අමතයි

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (07) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහ ලේකම් ටෝ ලම් (To Lam) මහතා ඇතුළු දූත පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

අනතුරුව අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල රාජ්‍ය පිළිගැනීමේ උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර පසුව දෙරට අතර ගිවිසුම් අත්සන් කිරීම ද සිදු කෙරිණි.

පසුව මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහ ලේකම් ටෝ ලම් (To Lam) මහතාව, රාජ්‍ය නායකයෙකුට පිරිනමන සියලු ගෞරවාචාර සහිතව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න විසින් පිළිගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිස පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ විය. මෙලෙස විදෙස් රාජ්‍ය නායකයෙකු මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සිදු වූයේ වසර 11කට පසුවය.

පාර්ලිමේන්තුව ඇමතූ වියට්නාම් ජනාධිපති ටෝ ලම් මහතා,

​භූගෝලීය වශයෙන් වියට්නාමය සහ ශ්‍රී ලංකාව ඈතින් පිහිටා තිබුණද, අපගේ ඉතිහාසය, සංස්කෘතිය සහ සංවර්ධන අභිලාෂයන් අපව සමීප කර තිබෙනවා. ජාතීන් දෙකම දිගුකාලීන සම්ප්‍රදායක් සහ පොහොසත් අනන්‍යතාවයක් දරන අතර කරුණාව, ඉවසීම සහ සහජීවනය අගය කරනවා. බුද්ධාගම සහ පෙරදිග සංස්කෘතික වටිනාකම් එක් එක් ජාතීන් තුළ සාමය, මනුෂ්‍යත්වය සහ ප්‍රජා හැඟීම පෝෂණය කිරීමට උපකාරී වී තිබෙනවා.

​1970 ජූලි 21 දින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් දා සිට, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව අර්ධ ශතවර්ෂයකට වඩා වැඩි කාලයක් පුරා වර්ධනය වුණා. පසුගිය වසරේ අපි රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55 වැනි සංවත්සරය සැමරුවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ වියට්නාමයේ සංචාරයේදී හෝ චි මිං නගරයේ පැවති ජාත්‍යන්තර වෙසක් දින සැමරුමටත් සහභාගී වුණා.

​මෙම සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ දෙරට අතර සබඳතාවය ගොඩනැගී ඇත්තේ හුදු රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිලි මත පමණක් නොව, අපේ ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය සහ අවංකභාවය මත බවයි.

​අද දින, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ, වියට්නාමයේ සංවර්ධන ගමන, විශේෂයෙන්ම පසුගිය වසර හතළිහක ’ඩෝයි මොයි​’ (Doi Moi) ප්‍රතිසංස්කරණ ගැන කතා කිරීමට මම කැමතියි.

​වසර හතළිහකට පෙර, 1986 දී ​’ඩෝයි මොයි​’ (නවෝදය) ආරම්භ කරන විට, වියට්නාමය අනේකවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටියා. රට යුද්ධයෙන් පීඩාවට පත්ව, යටිතල පහසුකම් විනාශ වී, ආර්ථිකය අඩාල වී ජනතාව දැඩි දරිද්‍රතාවයෙන් පසුවුණේ. වියට්නාමය ’ඩෝයි මොයි’ තෝරා ගත්තේ එවැනි පසුබිමකයි.

​’ඩෝයි මොයි​’ කියන්නේ මූලික වශයෙන් නව චින්තනයක්. අපේ රට දියුණු කිරීමට නම්, අපි සත්‍යයට මුහුණ දිය යුතු බවත්, පවතින යථාර්ථය ඇගයීමට ලක් කළ යුතු බවත්, තවදුරටත් නොගැලපෙන ආයතන වෙනස් කළ යුතු බවත් අපි තේරුම් ගත්තා.

​මධ්‍යගතව සැලසුම් කරන ලද ආර්ථිකයක සිට, වියට්නාමය ක්‍රමයෙන් සමාජවාදී නැඹුරුවක් සහිත වෙළඳපල ආර්ථිකයක් ගොඩනැගුවා. එහිදී රාජ්‍යය මඟ පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන අතරම තරඟකාරිත්වය, නවෝත්පාදනය සහ ජාත්‍යන්තර ඒකාබද්ධතාවය දිරිමත් කළා.

කෘෂිකාර්මික අංශයේදී, වියට්නාමය ගොවීන් සවිබල ගන්වා ආහාර සුරක්ෂිතතාව සහතික කළ අතර, ආහාර හිඟයෙන් පෙළුණු රටක සිට ලොව ප්‍රමුඛතම කෘෂිකාර්මික අපනයනකරුවෙකු දක්වා වර්ධනය කළා. කාර්මික හා සේවා අංශවලදී ආයෝජන සඳහා දොරටු විවෘත කළා, ගෝලීය වටිනාකම් දාමයන්ට සම්බන්ධ වුණා.

​අද වන විට වියට්නාමය ලෝකයේ විශාලතම ආර්ථිකයන් 32 අතරට පැමිණ තිබෙනවා. 2025 වසරේ අපගේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇමරිකානු ඩොලර් බිලියන 514 ක් වූ අතර ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 ඉක්මවා ගියා. වියට්නාමය ලොව ඉහළම වෙළඳ ආර්ථිකයන් 15 අතර සිටින අතර නිදහස් වෙළඳ ගිවිසුම් 20කට වඩා වැඩි ප්‍රමාණයක සාමාජිකයෙක්.

​වියට්නාමයේ අත්දැකීම් ඇසුරින් අප උගත් පාඩම් කිහිපයක් අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ද ප්‍රයෝජනවත් විය හැකියි.

ලෝකය සමඟ ඒකාබද්ධ වන අතරම තමන්ගේම අභ්‍යන්තර ශක්තිය ගොඩනැගීම අත්‍යවශ්‍ය යි. ඒවගේම සංවර්ධනය සඳහා ස්ථාවර, විනිවිද පෙනෙන සහ සාධාරණ නීතිමය පදනමක් අවශ්‍යයි . පාර්ලිමේන්තුව මෙහිදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. සංවර්ධනය යනු හුදු GDP වර්ධනය පමණක් නෙමෙයි. එය ජනතාවට වඩා හොඳ ජීවිතයක්, අධ්‍යාපනයක් සහ රැකියා අවස්ථා ලබා දීමයි. ඒ වගේම ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය සංවර්ධනය ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය යි.

​වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ​’පුළුල් හවුල්කාරිත්වයක්​’ දක්වා ඉහළ නැංවීමට දෙරට එකඟ වී ඇති බව මම සතුටින් ප්‍රකාශ කරනවා. මෙය දෙරට අතර සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් වනු ඇති.

මෙම රාමුව යටතේ ​දේශපාලන සහ පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම, ආර්ථික, වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍රවල විශාල වෙනස්කම් ඇති කිරීම (දෙරට අතර වෙළඳ ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා වැඩිකිරීම), ​කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා සහයෝගීතාව වේගවත් කිරීම, ​ඩිජිටල් පරිවර්තනය, AI සහ හරිත වර්ධනය වැනි නව ක්ෂේත්‍ර දියුණු කිරීම., ​අධ්‍යාපනික, සංස්කෘතික, සංචාරක සහ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම (විශේෂයෙන් බුද්ධාගම සහ උරුමයන් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය), ​කලාපීය සහ ජාත්‍යන්තර වේදිකාවල සමීපව කටයුතු කිරීම. යන සහයෝගීතාවයන් යෝජනා කරනවා. ​අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ වෙසෙන වියට්නාම ප්‍රජාව කෙරෙහි දිගින් දිගටම අවධානය යොමු කරන ලෙස ශ්‍රි ලංකා රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වියට්නාම් ජනාධිපති ටෝ ලම් මහතා පැවසුවේය.

අනතුරුව පාර්ලිමේන්තුව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ශ්‍රි ලංකාව සහ වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55වන සංවත්සරය සැමරීම වෙනුවෙන් කළ ආරාධනය පිළිගෙන මෙම රාජ්‍ය සංචාරයේ නිරතවීම පිලිබඳ අපි ඔබතුමාට කෘතඥතාව පළ කරනවා.

ජනාධිපති ධූරයට සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස නැවත පත්වීමෙන් පසු කළාපය තුළ සිදුකරන පළමු විදේශ සංචාරය මෙය වීම විශේෂත්වයක්. වියට්නාම්, ශ්‍රි ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී දශක 5කට අධික වුවත් අපගේ සබඳතාව සියවස් ගණනාවක් ඈතට දිවයනවා. ශ්‍රි ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සෙලා, වෙළඳුන් සහ සංචාරකයින් වියට්නාමය සහ නැගෙනහිර ආසියානු කලාපයේ රටවල් සමඟ සබඳතා ගොඩනැගුවා. දෙරට අතර මුල් කාලින සබඳතා අපගේ ඓතිහාසික සබඳතා වල පදනමයි. කාලයත් සමගමේ සබඳතාව අන්‍යොන්‍ය විශ්වාසය සහ ගෞරවය මත පදනම්ව මල්පල දරා තිබෙනවා.

අසීරු කාලපරිච්ඡෙදයන් වලදි දෙරට අතර සහෝගීතාවයෙන් කටයුතු කර තිබෙනවා. දැඩි භාහිර පීඩනයක් මධ්‍යයේ ශ්‍රි ලංකාව, වියට්නාමය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගත්තා. ඊට ප්‍රතිචාර ලෙස වියට්නාමය ජාත්‍යනතරය තුළ නිරන්තරව ශ්‍රි ලංකාවට සහයෝගය ලබා දී තිබෙනවා. දෙරට අතර පවතින සමීප හුවමාරු මගින් දෙරටේ සහයෝගීතාව මනාව පිළිබිඹු වෙනවා. පසුගිය දශක කිහිපය තුළ වියට්නාමය අත්කරගත් විශිෂ්ඨ ප්‍රගතිය හේතුවෙන් අප කළාපයේ වඩාත් ගතික හා ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බවට වියට්නාමය පත්ව තිබෙනවා. මෙම සංචාරය ශ්‍රි ලංකාව ඇතුළු තිරසාර සහ සහභාගීත්ව ආර්ථික වර්ධනයක් කරා ගමන් කරන රටවලට ආදර්ශයක්. ඩිජිටල් පරිවර්ථනය ඉහළ ගුනාත්මක වර්ධනය සහ හරිත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් සංවර්ධනය සඳහා අප දක්වන ප්‍රවේශය අපි උනන්දුවෙන් සිදු කරනවා. එයට අදාල ප්‍රාග්ධනය, මානව සම්පත් සංවර්ධනය සහ හරිත වර්ධනය සඳහා වියට්නාමය ආයෝජනය කර තිබෙනවා. එය අපගේ සංවර්ධන ගමනට ඉතාම සමීපයි. වියට්නාමය කෘෂිකාර්මික ආර්ථිකයේ සිට නවීන ආර්ථිකය දක්වා පැමිණිමේදී ඔබ සතු අත්දැකීම් ප්‍රශංසනීය බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවට සියලුම ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් පැමිණ සිටියේය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය