ජනාධිපති අරමුදල 100%ක් ජනතාව වෙනුවෙන් දැන් ක්‍රීයාත්මක වෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වරප්‍රසාද ලත් පිරිසක් විසින් ඔවුන්ගේ වරප්‍රසාදයක් බවට පත් කරගත් ජනාධිපති අරමුදල වත්මන් රජය යටතේ 100%ක් ජනතාව වෙනුවෙන් භාවිත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

2023 (2024) සහ 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එක් එක් විෂය ධාරාව යටතේ විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසු දරු දැරියන් ඇගයීමට ජනාධිපති අරමුදල විසින් ගනු ලැබූ තීරණයට අනුව, විශිෂ්ට දක්ෂතා දැක්වූ දරු දැරියන් ඇගයීමේ මධ්‍යම පළාත් වැඩසටහන⁣ට එක්වෙමින් සැප්තැම්බර් 14 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය.

මෙහිදී අගමැතිතුමිය අතින් විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසු දරු දැරියන් හට සහතික ප්‍රදානය කරනු ලැබුණි.

2023 (2024) සහ 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ එක් එක් විෂය ධාරාව යටතේ විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසු දරු දැරියන් හට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සුභ පැතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔවුන්ට ලැබුණු අවස්ථාව තුළින් රටේ ඉදිරි පරිවර්තනයට දායකත්වය වගේම නායකත්වය බලාපොරොත්තු වන බව අවධාරණය කළා ය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

ජාතික අරමුදල පිළිබඳ කතා කරද්දී අපට ගොඩක් අහන්න ලැබෙන්නේ ජනාධිපති අරමුදල අවභාවිත වුණ විදිහ ගැන. වරප්‍රසාද ලැබුණු පිරිසක් විසින්ම තමන්ගේ වරප්‍රසාද වගේම ප්‍රතිලාභ වැඩි කරගන්න මේ අරමුදල අවභාවිත කරලා තියෙනවා.

අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා ජනාධිපති අරමුදලේ ඇත්ත අරමුණ සඳහා 100% භාවිත කරන එක ගැන අපි සතුටු වෙනවා. ජනතාවට පහසුවෙන් තමන්ගේ ප්‍රදේශයේ දීම ලබා ගන්න පුළුවන් විදිහට දැන් අරමුදල ජනතාවට කිට්ටු වෙලා තියෙනවා.

ඒ වගේම මානව සම්පත දියුණු කිරීමේ රජයේ ප්‍රමුඛ කාර්යයක් විදිහට රජය හඳුනා ගෙන තියෙනවා. ඒ අරමුණ ඇතිව අපි අධ්‍යාපනයට ආයෝජනය සිදු කරනවා. ඒ ආයෝජනය මුදල් අතින් පමණක් නෙවෙයි අනෙක් සියලු අංශවලින් ද සිදු කරනවා.

වෙනස් වන ලෝකය තුළ වෙනස් වන විදිහට හිතන්න පුළුවන්, සෑම පැත්තක්ම දකින්න පුළුවන්, ලෝකය වෙනස් කරන්න පුළුවන් විදිහේ මානවවාදී පුරවැසියන් පිරිසක් බිහි කරන්න තමයි අපි උත්සාහ කරන්නේ.

උත්සව සභාව ඇමතූ පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමා,

ජනාධිපති අරමුදල කියන්නේ ජනතාවගේ අරමුදල, ඒ වගේම එය ජනතාවගේ පරම අයිතියක්. අපේ වගකීම වන්නේ එය නිසි පරිදි ජනතාව සතු කිරීමයි.

මේ පවතින ප්‍රජාත්‍රාන්තික වෙනස තුළ මානව සම්පත දියුණු කිරීම ඉතාම වැදගත්. ශ්‍රී ලංකාව කියන්නේ වැඩි තරුණ කොටසක් සිටින රටක්. ඒ නිසා ඒ වෙනස ළඟ කරගන්න මේ රජය ඔබවෙනුවෙන් ඒ අධ්‍යාපන වටපිටාව සකස් කරමින් සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමා, ෆයිල්වලට සීමා වුණ සහතික, සුදුසුකම්වලට එහා ගිය සමාජයට සංවේදී, සමාජ ප්‍රශ්න පිළිබඳ රාමුවෙන් එහාට සිතිය හැකි රට ඉල්ලන සමාජය ඉල්ලන දරු දැරියන් පරපුරක් බලාපොරොත්තුවන බව සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා මහාචාර්ය එස්. බී. එස්. අභයකොන් මහතා, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මැතිතුමා, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මැතිතුමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලයේ නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, පාසල් සිසුසිසුවියන්, සහ දෙමාපියන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය