බංගලාදේශ විදේශ කටයුතු ලේකම්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ ලේකම් අතිගරු තානාපති Asad Alam Siam මහතා නොවැම්බර් 06 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

බංගලාදේශ විදේශ කටයුතු ලේකම්වරයා සහ බංගලාදේශ දූත පිරිස අග්‍රාමාත්‍යවරිය විසින් පිළිගනු ලැබූ අතර මෙහිදී වගවීම, විනිවිදභාවය සහ යහපාලනය අවධාරණය කරමින් වත්මන් කලාපීය සංවර්ධනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කිරීම කෙරෙහි අවධානය යොමු විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ආයතනික ප්‍රතිසංස්කරණවල වැදගත්කම සහ ඵලදායී හා විනිවිදභාවයෙන් යුතු පාලන පද්ධති ශක්තිමත් කිරීම සඳහා දූෂිත ක්‍රියාවලීන් තුරන් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ අතර පොදු උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර කෙරෙහි ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ඇති මාර්ගයන් පිළිබඳ දෙපර්ශවය සාකච්ඡා කළහ.

මෙම අවස්ථාවට දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර බංග්ලාදේශ දූත පිරිසට ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් අතිගරු Andalib Elias මහතා; විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Ishrat Jahan මහත්මිය; විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (FSO) Md. Manuar Mukarram මහතා; සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් Mohammad Nahid Zahangir මහතා ඇතුළත් විය. ශ්‍රී ලංකා දූත පිරිසට බංගලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අතිගරු ධර්මපාල වීරක්කොඩි මහතා; අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය; සහ දකුණු ආසියානු සහ සාර්ක් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත පතිරණ මහතා ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය