අග්‍රාමාත්‍යතුමිය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යාපන විශේෂඥයින් අතර විශේෂ සාකච්ඡාවක්

2026 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවර නිල සංචාරයක නිරත වන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ (British Council) අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් 2026 මැයි 20 වන දින පැවැත්විය. 

දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණයි.   විශේෂයෙන්ම ගුරු පුහුණු වැඩසටහන්, ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන ව්‍යාපෘති, අධ්‍යාපන රාමු සහ භාෂා ප්‍රවීණතා කුසලතා සංවර්ධනය කිරීම යන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.

මෙහිදී බ්‍රිතාන්‍ය කවුන්සිලය සතු ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ එම නියෝජිතයෝ, ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන තම ආයතනික වැඩසටහන් පිළිබඳව ද කරුණු පැහැදිලි කළහ. 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තාක්ෂණික සහාය, ගුරු සංවර්ධනය සහ ප්‍රතිපත්තිමය සහයෝගීතාවය ලබා දීමට තමන් සූදානම් බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීමේ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම, පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම සහ සිසුන් සඳහා ඉගෙනුම් අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැනුණි.

බ්‍රිතාන්‍ය කවුන්සිලය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අඛණ්ඩව දක්වන දායකත්වය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් වූ අතර, මෙවැනි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය