කොළඹ ඉඳගෙන ගමේ තීරණ අපි ගන්නේ නැහැ - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ව්‍යුහ කමිටු මගින් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු හරහා අවශ්‍යතා අනුව සැලසුම් එවන්න

අධ්‍යාපන අමාත්‍යංශය සිට පාසල් දක්වා සියලු නිලධාරීන් කාර්යක්ෂමව මනවවාදීව කටයුතු කරන්න කැප වෙන්න

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදු කරන සංවර්ධන කටයුතුවලදී කොළඹ සිට ගමේ තීරණ නොගන්නා බවත්, ව්‍යුහ කමිටු මගින් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු හරහා අවශ්‍යතා අනුව සැලසුම් එවීමට කටයුතු කරන ලෙසත්, අධ්‍යාපන අමාත්‍යංශයේ සිට පාසල් දක්වා සියලු නිලධාරීන් කාර්යක්ෂමව කටයුතු කිරීමට කැපවෙන ලෙසත් අධ්‍යපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ අධ්‍යාපන ගැටලු සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් සමග පෙබරවාරි 12 දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවක් අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළේය.

පරිවේනාධිපතිවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශකවරුන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් මුහුණ දෙන ගැටලු ඉදිරිපත් කිරීමට මෙහිදී අග්‍රාමාත්‍යතුමිය අවස්ථාව ලබා දුන් අතර විදුහල්පති වටුප් විෂමතාව, පාසල් යටිතල පහසුකම් සංවර්ධනය, ජාතික සහ පලාත් පාසල් ලෙස බෙදී තිබීමෙන් මතුව ඇති ගැටලු සහ පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම ඇතුළු කරුණු පිළිබඳ මෙහිදී නිලධාරීන් අදහස් දැක්වීය.

වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අපි 2025 වසරේ සිට සංවාද කරමින් සාකච්ඡා කරමින් අවශ්‍ය දත්ත රැස් කරමින් සූදානම් වුණා. එහිදී නිලධාරීන් ලෙස ඔබ ඉතා උනන්දුවෙන් අපිට සහයෝගය ලබා දුන්නා. අපි ආරම්භ කළේ අමාරු ඒ වගේම දීර්ඝ ගමනක්. ඉදිරියටත් ඔබේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න අපි ආරම්භ කළේ සමාජයේ ඉල්ලීමත් සමඟ, බොහෝ අය ඒ වෙනුවෙන් විවිධ අවස්ථාවල උත්සාහ ගත්තා. අපේ දේශපාලන ධාරාවේ අපි තේරුම් ගත්ත දෙයක් තමයි මේ රට හදන්න නම් අධ්‍යාපන පරිවර්තනයක් කළ යුතුයි කියලා. අපේ වටිනාම සම්පත තමයි මානව සම්පත. ඒ සම්පත අපි නිවැරදිව ගොඩනගා ගත යුතුයි.

අපේ රටේ පවතින අර්බුද ගණනාවකට විසදුම් තිබෙන්නේ අධ්‍යාපනය තුළ, ආර්ථික ගැටලු, සමාජ ගැටලු, මත්ද්‍රව්‍ය, ප්‍රචණ්ඩත්වය, දේශපාලන සංස්කෘතියේ බිඳවැටීම, දූෂණය, නාස්තිය වගේම මානව සම්බන්ධතා බිඳ වැටීමටත් විසඳුම් තියෙන්නේ අධ්‍යාපනය තුළයි.

අපි රජයක් ලෙස බලාපොරොත්තු වෙන වෙනස රට තුළ සිදු කරන්න නම් අධ්‍යාපන පරිවර්තනයක් සිදු කිරීම අවශ්‍යමයි.

අධ්‍යාපන ක්‍රමයේ තිබෙන පීඩනය අවම කරන්නත්, දරුවන් පාසල හැරයෑම අවම කරන්න වගේම රැකියාගත වන පිරිස වඩිකරන්නත්, දරුවන්ට අනාගතය ගැන විශ්වාසය ඇති කරන්නත් මේ අධ්‍යාපන ක්‍රමය අවශ්‍යයි.

පාසල් පද්ධතියේ ග්‍රාමීය, නාගරික, ජාතික, පළාත්, දුෂ්කර පාසල් ලෙස විවිධ අසමානතා පාසල් පද්ධතියේ තිබෙනවා. ඒක එහෙම වෙන්න බැහැ. කවුරුත් අපේ දරුවෝ සියලු දෙනාට සමාන අවස්ථා තිබිය යුතුයි.

⁣පාසල් ආරම්භ කිරීම, පන්ති වැඩි කිරීම දේශපාලන තීරණයක් නොවිය යුතුයි. එය ව්‍යුහ කමිටුව මගින් ගන්න තීරණයක් වෙන්න ඕන. කොට්ඨාසය ගැන, ගමේ ආර්ථික තත්වය ගැන, ජනගහනය ගැන දන්නේ ව්‍යුහ කමිටුවේ නියෝතයින් ඔබේ තීරණ අනුව අවශ්‍යතාව අනුව සැලසුම් සකස් කරලා, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සමග කතා කරලා අපිට එවන්න අපි අවශ්‍ය ප්‍රතිපාදන සහ අනෙකුත් දේවල් ලබා දෙන්න කටයුතු කරන්නම්. අපි කොළඹ ඉඳන් ගමේ අවශ්‍යතා ගැන තීරණ ගන්නේ නැහැ.

වැටුප් විෂමතාව අවම කරන්න අපි කටයුතු කරමින් යනවා. විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව වෙනුවෙන් දැනටමත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න පත්‍රිකාවක් සුදානම් කර තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපනය තුළ නව ප්‍රතිසංස්කරණයක් සිදු කරන්න අවශ්‍ය කටයුතු අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් කමිටුව හරහා කටයුතු කරමින් යනවා. එහිදී පරිවේනාධිපති හිමිවරුන්ගේ සහය අපිට අවශ්‍යයි.

මානව හිමිකම් යන බහුතරයක් ගුරුවරු යන්නේ අකාර්යක්ෂමතාව නිසා සිදු වන ප්‍රමාද වීම් හේතුවෙන්. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ සිට පාසල් දක්වා සියලු නිලධාරීන් කාර්යක්ෂමව, මනවවාදීව කටයුතු කිරීමට කැප විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට පරිවේනාධිපතිවරුන් වහන්සේලා, නියෝජ්‍ය ඇමතිවරුන්, මන්ත්‍රිවරුන්, කලාප අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් සහභාගී ව්ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය