සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සංවිධානය කළ ලෝක ජල දින සමරුමට (21) සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.
මෙහිදී ජල සම්බන්ධතා ලබා දීම සඳහා නිර්මාණය කළ විශේෂ මෘදුකාංගයක් එළිදැක්වීම අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ලෝක ජල දිනයට සමගාමීව පැවති දීප ව්‍යාප්ත පාසල් නාට්‍ය හා රචනා තරග ජයග්‍රහණය ලැබූ සිසු දරුවන් වෙත සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමත්, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මණ්ඩලයීය වෘත්තීයවේදීන් වෙත සම්මාන හා පදක්කම් ප්‍රදානය කිරීමත් සිදු කෙරිණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
"ජල සම්පාදන කටයුතු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට 2025 වසරේ මංගල අයවැය මඟින් රුපියල් මිලියන 41, 234 ක අරමුදල් වෙන් කිරීමට නිර්දේශ කර තිබෙනවා.
දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීම මෙන්ම ආරක්ෂිත ජල සැපයුම් සහතික කිරීමේ ජාතික වැදගත්කම හඳුනාගනිමින් ගම්පහ - අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය, පොල්ගහවෙල - අලව්ව සහ පොතුහැර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය සහ ආර්ථික අර්බුදය නිසා අදාළ ණය දෙන්නන් විසින් ණය පහසුකම් අත්හිටුවීම හේතුවෙන් නිම කිරීම ප්‍රමාද වී ඇති තඹුත්තේගම ජල සැපයුම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහාත් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ඒ නිසා ශ්‍රී ලංකාවේ පුරෝගාමී කීර්තිමත් ආයතනයක් ලෙස අප රජයේ ප්‍රතිපත්තිය වන ’පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන දැක්ම යථාර්තයක් බවට පත් කිරීමට වඩා ශක්තියෙන් හා ධෛර්යයෙන් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රමත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු දීප්ති යූ. සුමනසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය