ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මෙරට දූදරුවන්ට දෙස් විදෙස් වෘත්තිය අවස්ථා නිර්මාණය කළ විශිෂ්ට සංගමයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජූලි 05 දින පැවති ශ්‍රි ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 75 වන සංවත්සරය සහ 21 වන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
ඡායාරූපකරණයේ විශිෂ්ඨයන් වෙත ජාත්‍යනතර ගෞරවනාම පිරිණැමීමද මෙහිදී සිදු කෙරිණ.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
‘‘හැත්තෑ පස් වසරක අභිමානය සමරන ශ්‍රී ලංකා ජාතික ජායාරූප කලා සංගමයට පළමු කොට මම මාගේ සුබ පැතුම් එක් කරනවා.
ඡායාරූප ශිල්පය විනෝදාංශ මාධ්‍යයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වුණත්. එය හුදු විනෝදාංශයකට එහා ගිය කලා මාධ්‍යයක්, ප්‍රචාරණ මාධ්‍යයක් වගේම ප්‍රවෘත්ති මාධ්‍යයක්.
ඡායාරූප ශිල්පය මනාව හැදෑරිය යුතු, මානව භාෂාව වගේ සෑම විෂයක් තුළ ම අන්තර්ගත වූ විෂයක්, එබැවින් යුනෙස්කෝ සංවිධානය 1993 වසරේ දී 21 වැනි සියවසේ දී උගත යුතු විෂයයන් අතරට ඡායාරූප ශිල්පය එකතු කළේ.
නූතන අධ්‍යාපන අවකාශය තුළ සෑම රටකම පාහේ ඡායාරූප ශිල්පය ඉගෙනීමට සුවිශේෂී උන්දුවක් දක්වන බොහෝ පිරිසක් ඉන්නවා.
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය කියන්නේ ඡායාරූප ශිල්පයේ බහු මානයන් සොයා යන්නට මෙරට බිහි වූ පිළිගත් අධ්‍යාපන හා වෘත්තීය ආයතනයක්. බටහිර අධිරාජ්‍යවාදි යුගයේ දී විදේශිකයන්ට පමණක් උරුම කලාවක් ලෙස පැවති ඡායාරූප ශිල්පය මෙරට ද දරුවන්ට ද උරුම කලා මාධ්‍යයක් ලෙස ගොඩනගන්නට මුල් වී කටයුතු කළේ ජාතික ඡායාරූප කලා සංගමයයි.
අවුරුදු 75 ක් පුරාවට ඔබ සංගමය පසු කර ආ මේ ගවන්මග අතිශය සුවිශේෂයි. ඒ වසර 75 පුරාවටම ඉගැන්වීම, ඇගයීම්, ප්‍රදර්ශන සංවිධානය කිරීම විගේම, ඡායාරූප කරණයෙන් රටේ තරුණ පරපුරට දේශීය සහ විදේශීය වෘත්තීය අවස්ථා විශාල ප්‍රමාණයකට දොර විවර කර දීමත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඡායාරූප ශිල්පය ඉගැන්වීමට සහතික පත්‍ර පාඨමාලා ඩිප්ලෝමා පාඨමාලා, වෘත්තීය පාඨමාලා නොමිලේම පවත්වමින් මුළු මනින්ම ස්වේච්ඡා ආයතනයක් ලෙස කටයුතු කරමින් දක්ෂ, කලාත්මක ශිල්පීන් සහ වෘත්තිකයන් බිහි කිරීමට ඡායාරූප සංගමය දරන වෑයමත් අපි රජය හැටියට අගය කරනවා.”
ඡායාරූපකරණයේ පමණක් නොවෙයි ජනමාධ්‍ය සහ සිනමා ක්ෂේත්‍රයන්හි වත්මනේ අපට සිටින බොහෝ විශිෂ්ටයන්ගේ මුල් පියවර ඇරඹී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයෙන් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ශ්‍රි ලංකා ජාතික ඡායාරූප සංගමයේ සභාපති ශාන්ත ගුණසේකර යන මහත්ම මහත්මීන්, ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය