ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු කොමසාරිස්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුලි 03 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
2024 අංක 37 දරන කාන්තා සබලගැන්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී දූත පිරිස විසින් අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කරන ලද අතර කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ ඉදිරියට ගෙනයෑම මෙන්ම කාන්තාවන් සබලගැන්වීමේ ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනය මෙම ජාතික කාන්තා කොමිෂන් සභාව බව ද නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කොමිෂන් සභාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය අගය කළ අතර ශ්‍රී ලංකාව තුළ කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සබලගැන්වීම වෙනුවෙන් කොමිෂන් සභාව පෙනී සිටීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළාය.
මෙම අවස්ථාව සඳහා කොමිෂන් සභාවේ සභාපතිනී ග්‍රේස් ආසිරිවාදම්, කොමසාරිස්වරුන් වන ජයන්ති කුරුඋතුම්පාල, ජනහා සෙල්වරාස්, ආචාර්ය පද්මා ගුණරත්න, එම්.යූ. ගයානි සහ විධායක අධ්‍යක්ෂිකා කේ.ඩී.ආර්. ඔල්ගා යන මහත්මියන් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය