ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන පද්ධතිය තුළ වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සමාන වටිනාකමක් සහ ගෞරවයක් සහිත අධ්‍යාපන මාර්ගයක් ලෙස පිළිගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
ජර්මානු රජයේ BMZ ආයතනය හරහා ලැබුණු සහාය මත GIZ ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද, ස්විට්සර්ලන්ත සංවර්ධන හා සහයෝගිතා ඒජන්සිය (SDC) සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක වූ “ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව (VTSL) – දෙවන අදියර” ව්‍යාපෘතියේ සාර්ථක අවසන් කිරීම සනිටුහන් කරමින් අගෝස්තු 12 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා දිගුකාලීනව ලබාදුන් සහයෝගය වෙනුවෙන් ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ රජයන්ටත්, GIZ, BMZ සහ SDC ආයතනවලටත් සිය ස්තූතිය පළ කළාය.
වෘත්තීය අධ්‍යාපනය යනු තරුණ තරුණියන් රැකියා සඳහා සූදානම් කිරීම පමණක් නොවන බවත්, එය සමාන අවස්ථා නිර්මාණය කිරීම, ජීවනෝපායන් ශක්තිමත් කිරීම, අසමානතා අවම කිරීම සහ තරුණ පරපුරට අර්ථවත් හා ඵලදායී ජීවිත ගොඩනගා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳව ද වන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
වේගයෙන් වෙනස් වන තාක්ෂණික ක්ෂේත්‍රයන්ට සහ ශ්‍රම වෙළෙඳපොළේ වෙනස්වන අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්විය හැකි දක්ෂ, අනුවර්තනය විය හැකි සහ නවෝත්පාදන හැකියාවන්ගෙන් යුත් ශ්‍රම බලකායක් සංවර්ධනය කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
TVET ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය සඳහා මෙම ව්‍යාපෘතිය ලබාදුන් දායකත්වය ද ඇය අගය කළාය. ඒ අතර TVET ඩිජිටල් මාර්ග සිතියම, ඩිජිටල් විෂයමාලා, තොරතුරු කළමනාකරණ පද්ධති සහ වෘත්තීය පුහුණු අවස්ථා පිළිබඳ තොරතුරු ලබාදෙන “GuideMe” යෙදුම හඳුන්වාදීම ද ඇතුළත් වේ.
උපදේශකවරුන් 60 දෙනෙකු පුහුණු කළ Master Trainer Development Programme පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය අවධානය යොමු කළ අතර, අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පුහුණුකරුවන් සහ මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නාය.
වෘත්තීය අධ්‍යාපනය රජයේ පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ අත්‍යවශ්‍ය කොටසක් විය යුතු බවත්, එමඟින් රැකියා සඳහා පමණක් නොව උසස් අධ්‍යාපනය, වෘත්තීය දියුණුව සහ ජීවිත කාලය පුරා ඉගෙනීම සඳහා ද මාර්ග විවෘත කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයන් සඳහා ද කුසලතා සංවර්ධනය තුළින් අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම රජය, පුහුණු ආයතන සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළාය.
හරිත කුසලතා සහ පාරිසරික තිරසරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘතිය ලබාදුන් දායකත්වය ද අග්‍රාමාත්‍යවරිය අගය කළාය. ඒ යටතේ Green Campus වැඩසටහන්, Mobile Green Lab සහ සූර්ය බලශක්ති තාක්ෂණ ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ අවසන් වීම, නවීන, සියලු දෙනා ඇතුළත් කරගත්, ඩිජිටල් හැකියාවන්ගෙන් සන්නද්ධ සහ අනාගතයට සූදානම් TVET පද්ධතියක් ගොඩනැගීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක ආරම්භය විය යුතු බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයේ ප්‍රධාන කුළුණක් ලෙස කුසලතා සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද ඇය අවධාරණය කළාය.
උත්සවයේදී “Footprints of Change” ප්‍රකාශනය එළිදැක්වීම, Virtual TVET Training Kit භාරදීම සහ GuideMe App යෙදුම එළිදැක්වීම සිදු කෙරිණි.
එමෙන්ම VTSL ව්‍යාපෘතිය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ද ප්‍රදර්ශනය කරන ලද අතර, අනතුරුව ස්විට්සර්ලන්තයේ නම් කරන ලද තානාපති ඔලිවියර් ප්‍රාස් මහතා, ජර්මනියේ වැඩබලන තානාපති සාරා හැසල්බාර්ත් මහත්මිය සහ GIZ ශ්‍රී ලංකා නියෝජිත පෝලිනා කැම්පෝස් මහත්මිය විසින් අදහස් දැක්වීම් සිදු කරන ලදී.
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සාරා කර්ස්ටින් හැසල්බාර්ත් මහත්මිය, ඔලිවියර් ප්‍රාස් මහතා, පෝලිනා කැම්පෝස් මහත්මිය, GIZ සහ VTSL ව්‍යාපෘතියේ නියෝජිතයන්, TVET ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන්, ප්‍රධාන පුහුණුකරුවන්, පුහුණුකරුවන්, ව්‍යාපෘති හවුල්කරුවන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය