අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති අතිගරු Lee Miyon මහත්මිය අතර හමුවක් 2025 ඔක්තෝබර් 21 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාව හරහා අවධානය යොමු විය.
කුලියාපිටිය නව තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය වෘත්තීය පුහුණුව සඳහා ආදර්ශ ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම, වෘත්තීය විෂයයන් ජාතික පාසල් විෂය මාලාවට ඒකාබද්ධ කිරීම සහ මෙම විෂය ධාරාව උගන්වනු ලබන ගුරුවරුන් හට විශේෂිත ගුරු පුහුණුවක් ලබා දීම යන කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේදී යෝජනා විය.
බහුවිධ සංවර්ධන අංශ හරහා කොරියානු ජනරජයේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බව මෙහිදී තානාපති Lee Miyon මහත්මිය පැවසූ අතර සිසුන් බහුතරයකට ප්‍රතිලාභ සැලසෙන පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ද කොරියානු ජනරජයේ උනන්දුව තානාපතිනිය පැහැදිලි කළා ය.
මෙම අවස්ථාවට දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර කොරියානු දූත පිරිසට නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Eunji Kang මහත්මිය සහ කොළඹ කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Soojung Lee මහත්මිය ද ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, නැගෙනහිර ආසියාව සහ ඕෂනියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව සහ ඕෂනියා අංශයේ සහකාර අධ්‍යක්ෂ අනුරාධා ජයසිරි මහත්මිය ඇතුළත් විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය