ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්යක්ෂ Takafumi Kadono මහතා අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය. මෙරට සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ADB හි කාර්යභාරය මෙම සාකච්ඡාවේදී යළිත් අවධාරනය කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳව වැඩි අවධානයක් යොමුවිය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා පාසල් යටිතල පහසුකම්, ගුරු-විදුහල්පති පුහුණුව සහ ඇගයීම් යාන්ත්‍රණ සංවර්ධනය කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. ගුරු හා විදුහල්පති පුහුණුව වැඩිදියුණු කිරීම ඇතුළුව, අඛණ්ඩ ව්‍යාපෘති හරහා අධ්‍යාපන ක්ෂේත්රයේ ඇති අභියෝගවලට විසඳුම් සෙවීමට සිය දායකත්වය පිළිබඳව ADB නියෝජිතයින් වැඩිදුරටත් සාකච්ඡා කළහ.
මෙම හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ද ඇතුළත් විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැවේ මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර මහතා, ආසියානු සංවර්ධන බැංකුව අංශයේ වැඩබලන අධ්යක්ෂ රංජිත් ගරුසිංහ මහතා, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ADB අංශයේ සහකාර අධ්යක්ෂ ධනංජි අමරසිංහ මහත්මිය, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අධ්යක්ෂ ලෂිංකා දම්මුල්ලගේ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අගමැති මාධ්‍ය අංශය.