ජාතික සංවර්ධනය සඳහා ශක්තිමත් පශු වෛද්‍ය වෘත්තියක් අත්‍යවශ්‍යයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 ඔක්තෝබර් 30 වැනි දින කොළඹ දී පැවැති ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ (SLVA) 78 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට සහ සම්මේලනයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවාය.

මෙම අවස්ථාවට රජයේ නියෝජිතයන්, පශු වෛද්‍ය වෘත්තිකයන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් එක්ව සිටි අතර, මහජන සෞඛ්‍යය, ආහාර සුරක්ෂිතතාව, සත්ව සුබසාධනය සහ තිරසර සංවර්ධනය උදෙසා පශු වෛද්‍ය වෘත්තියෙන් ඉටුවන දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

සභාව ඇමතූ අග්‍රාමාත්‍යතුමිය පශු වෛද්‍ය විද්‍යාව සතුන්ගේ සෞඛ්‍ය රැකබලා ගැනීම සීමා නොවන බවත්, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම, සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝග වැළැක්වීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ගොවීන්ට සහාය වීම සහ වනජීවී සම්පත සංරක්ෂණය කිරීම ඇතුළු ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් වන බව අවධාරණය කළා ය.

“සතුන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීම මෙන්ම මානව යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ද පශු වෛද්‍ය වෘත්තිකයන් ඉටු කරන්නේ සුවිශේෂී කාර්යභාරයක්. ඔවුන්ගේ දායකත්වය මහජන සෞඛ්‍යය, ආහාර සුරක්ෂිතතාව, ජනතාවගේ ජීවනෝපාය සහ පාරිසරික තිරසරභාවය කෙරෙහි සෘජුවම බලපානවා,” යනුවෙන් අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා මෙම වෘත්තියේ ඇති වැදගත්කම පෙන්වා දෙමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ පශු සම්පත් ඵලදායිතාව ඉහළ නැංවීම, රෝග ව්‍යාප්තිය වැළැක්වීම සහ ගොවි ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා පශු වෛද්‍ය සේවාවන් අත්‍යවශ්‍ය වන බවයි.

සත්ව හිංසනය වැළැක්වීම සඳහා වන නීතිමය වටපිටාව ශක්තිමත් කිරීම, වගකීම් සහගත සත්ව හිමිකාරිත්වය සහ තුවාල ලැබූ හෝ පීඩාවට පත් වන සතුන් සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදු කිරීම තුළින් සත්ව සුබසාධනය සහ වනජීවී ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

“එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත්, ප්‍රමාණවත් සම්පත් සහිත සහ වෘත්තීයමය වශයෙන් සහාය ලබන පශු වෛද්‍ය ක්ෂේත්‍රයක් අවශ්‍ය බව රජය පිළිගන්නවා,” යනුවෙන් සඳහන් කළ අග්‍රාමාත්‍යතුමිය, පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා සුදුසු බඳවා ගැනීම් සහ සේවයේ යෙදවීම් සිදු කිරීම, යටිතල පහසුකම් ශක්තිමත් කිරීම මෙන්ම නවීන උපකරණ සහ තාක්ෂණය වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළාය.

රටේ පුළුල් සංවර්ධන ප්‍රමුඛක්තා අතර පශු වෛද්‍ය වෘත්තිකයන්ට අවශ්‍ය සහාය ලබාදිය යුතු බව අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් අවධාරණය කළා ය.

“ශක්තිමත් පශු වෛද්‍ය වෘත්තියක් යනු නිරෝගී ජනතාවක්, ඵලදායී කෘෂිකාර්මික ක්ෂේත්‍රයක් සහ තිරසර පරිසරයක් සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. මෙම වෘත්තියට සහාය වීම එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ කරුණක් නොවෙයි. එය අපේ රටේ යහපැවැත්ම සහ අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක්,” යනුවෙන් ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති ආචාර්ය සුගත් ප්‍රේමචන්ද්‍ර මහතා, එම සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයන්, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. මීට අමතරව රජයේ සේවය, විශ්වවිද්‍යාල, පෞද්ගලික වෛද්‍ය සේවා, පර්යේෂණ ආයතන සහ පශු සම්පත් හා සත්ව සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් පශු වෛද්‍යවරුන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය