සෑම පුරවැසියෙකුගේම භාෂා අයිතියට ගරු කරන, සමානාත්මතාව ආරක්ෂා කරන සහ විවිධත්වය ශක්තියක් බවට පත් කරන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
රාජ්‍ය භාෂා සතියට සමගාමීව පැවැත්වුණු අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ සමාප්ති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා ය.
ජූලි මස 01 වැනි දින සිට 05 වැනි දින දක්වා පැවැත්වෙන රාජ්‍ය භාෂා සතියේ ’පාසල් දිනයට’ සමගාමීව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මඟින් සංවිධානය කරනු ලැබූ අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ සමාප්ති උත්සවය අද (ජූලි 02) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ලෝටස් ශාලාවේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම උත්සවයේ දී “රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එහි භාවිතය තුළින් ජාතික සංහිඳියාව ගොඩනඟමු” යන තේමාව යටතේ සිංහල හා දෙමළ භාෂාවලින් පැවැති විවාද තරගාවලියේ ජයග්‍රාහී පාසල් කණ්ඩායම් වෙත අග්‍රාමාත්‍යවරිය විසින් සම්මාන හා සහතිකපත් ප්‍රදානය කරන ලදී.
පාසල් සිසුන් අතර ද්විභාෂා භාවිතය තිරසාරව පවත්වා ගැනීම උදෙසා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් සකස් කරන ලද සංකල්ප පත්‍රිකාවක් ද මෙහිදී අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගන්වනු ලැබීය.
උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යතුමිය මෙසේ ද පැවසුවා ය.
“රාජ්‍ය භාෂා සතිය යනු හුදෙක් භාෂාවන් සමරන සතියක් නොවෙයි. ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම තමන්ගේ භාෂාවෙන් රාජ්‍ය සේවාවන් ලබාගැනීමේ අයිතිය යළිත් තහවුරු කරන සතියක්. ඒ අයිතිය සුරක්ෂිත කිරීම, ශක්තිමත් කිරීම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපගේ වගකීම නැවත සිහිපත් කරන අවස්ථාවක්.
ඒ වගේම රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින්, භාෂා අයිතිවාසිකම් වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි ආයතනික පද්ධතියක් ගොඩනඟා ගැනීමට අපි කටයුතු කරමින් සිටිනවා. එමඟින් සෑම පුරවැසියෙකුටම සිංහල හෝ දෙමළ භාෂාවෙන් රාජ්‍ය සේවාවන් ලබාගැනීමේ ව්‍යවස්ථාපිත අයිතිය තවදුරටත් තහවුරු වෙනවා.
අපි ගොඩනඟන්න උත්සාහ කරන්නේ එක් භාෂාවක් අනෙක් භාෂාවට වඩා උසස් යැයි සලකන රටක් නොවෙයි. සෑම භාෂාවකටම සමාන ගෞරවයක් හිමිවන, සෑම පුරවැසියෙකුටම සමාන අයිතියක් සහිත, සාධාරණ සහ සංවේදී රාජ්‍යයක්.”
මෙහිදී පාසල් දරුවන් අමතමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් මෙන්ම සංඥා භාෂාව ද ඉගෙනීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, “ඔබේ මව් භාෂාව ඔබේ අභිමානය ලෙසත්, අනෙකුත් භාෂාවන් ඔබේ මිත්‍රත්වයේ පාලම ලෙසත් වැළඳගන්න. ඔබ ඉගෙන ගන්නා සෑම නව වචනයක්ම, මිනිසුන් අතර අවබෝධය, විශ්වාසය සහ සංහිඳියාව ශක්තිමත් කරන පියවරක් බව කිසිදා අමතක කරන්න එපා" යනුවෙන් ප්‍රකාශ කළා ය.
උත්සව සභාව ඇමතූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෙන්වා දුන්නේ, දශක ගණනාවක් පුරා මෙරට පැවති ජනවාර්ගික ගැටුම් දෙස බැලීමේදී විවිධත්වය මර්දනය කිරීමෙන් නොව, එය ගෞරවයෙන් පිළිගැනීමෙන් පමණක් තිරසාර සාමය ගොඩනැඟිය හැකි බව තහවුරු වන බවයි. තමන්ගේ භාෂාව, ආගම, ජනවාර්ගිකත්වය හෝ සංස්කෘතිය කුමක් වුව ද සෑම පුරවැසියෙකුටම සමාන ගෞරවය සහ සමාන අයිතිවාසිකම් හිමිවන රටක් ගොඩනැඟීම අපේ දරුවන් වෙත දායාද කළ යුතු වැදගත්ම ජාතික උරුමය බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
ජාතික සමඟිය ගොඩනැඟීමට නම් සියලු දෙනා එක් භාෂාවක් කතා කිරීම නොව, එකිනෙකාගේ භාෂාවන්ට සහ සංස්කෘතීන්ට ගෞරව කිරීම අත්‍යවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා, රට තුළ සාමය තහවුරු වන්නේ බලයෙන් හෝ වෛරයෙන් නොව එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය හා ශිෂ්ටසම්පන්න මනුෂ්‍යත්වය මත බව ද සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ නීතිඥ නිමල් ආර්. රණවක මහතා ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන් වන ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, මහාචාර්ය එස්. ජේ. යෝගරාජා, ආචාර්ය සී. ඩී. එච්. එම්. ප්‍රේමරත්න, රාජ්‍ය භාෂා කොමසාරිස් ජෙනරාල් තිලක් නන්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ආරාධිත අමුත්තන්, ගුරු භවතුන් සහ පාසල් දරු දැරියන් පිරිසක් සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය