මෙම ’Reimagining International Relations from a Global South Perspective’ වෙළුම හරහා ප්‍රතිපත්ති, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ ගෝලීය පාලනය පිළිබඳ කාලෝචිතව දැනුමක් අපට ලබා දෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (BCIS) මඟින් ප්‍රකාශයට පත් කරන "Reimagining International Relations from a Global South" වෙළුම එළි දැක්වීමේ උත්සවය පෙබරවාරි 24 වැනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් BCIS ශ්‍රවණාගාරයේ පැවත්වුණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු සහ BCIS කළමනාකරණ සහ අධ්‍යයන කටයුතු මණ්ඩලයේ සාමාජිකයෙකු වන සම්මානිත මහාචාර්ය ගාමිණී කීරවැල්ල මහතා විසින් රචිත ’Reimagining International Relations from a Global South’ යන මෙම ග්‍රන්ථය, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පවතින සාම්ප්‍රදායික මතවාදයන්ට අභියෝග කරමින්, "ගෝලීය දකුණේ" (Global South) රටවල අත්දැකීම් සහ දෘෂ්ටිකෝණයන් ඇසුරින් නව විග්‍රහයක් ඉදිරිපත් කරයි.

මෙම ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාවට සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍යවරිය, මෙම වෙළුම ගෝලීය දකුණේ (Global South) රටවල ජාත්‍යන්තර සබඳතා සහ ප්‍රතිපත්ති කාලයත් සමඟ ගොඩ නැගී ඇති ආකාරය පිළිබඳ කාලෝචිත දැනුමක් ලබා දෙන බව සඳහන් කළා ය. මෙම වෙළුම හරහා ජාත්‍යන්තර සබඳතා දෙස බහු දෘෂ්ටිකෝණයකින් බැලීමට ආරාධනා කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, එම දැක්ම ජාත්‍යන්තර සබඳතා සඳහා සීමා නොවන බවත්, එය සියලු ක්ෂේත්‍රයන් සඳහා අදාළ වන බවත් තවදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට BCIS හි සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින්, බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමේ කළමනාකරණ මණ්ඩලයේ නියෝජිතයින්, BCIS පාලක මණ්ඩල සාමාජිකයින්, ආරාධිත විද්වතුන් සහ වෘත්තිකයන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය