දූෂිත දේශපාලනයේ යෙදුණු අය දැන් හොදටම කලබල වෙලා ඉන්නේ. - ආචාර්ය හරිනි අමරසුරිය

දේශපාලනිකව අනාථ වූවන්ගේ අවසාන ලැගුම්හල ජාතිවාදයයි කියන කතාව මේ දිනවල සනාථ කරමින් ඉන්නවා.

"දූෂිත දේශපාලනයේ යෙදුණු අය දැන් හොදටම කලබල වී ඇති බව හා ’දේශපාලනිකව අනාථ වූවන්ගේ අවසාන ලැගුම්හල ජාතිවාදය’යි කියන කතාව මේ දිනවල සනාථ කරමින් ඉන්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

වවුනියා දිස්ත්‍රික් නේඩුංකේණි සංස්කෘතික ශාලාවේ අප්‍රේල් 20 දින පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"අපේ රටේ පැරණි දේශපාලනය තිබුණේ උතුර, දකුණ, නැගෙනහිර සහ කඳුකරය කියලා වෙන වෙනම. ඒ අය ප්‍රදේශවලට, ජාතිවලට වෙන් කරලයි එයාලගේ දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන ගියේ. ඒ තුළින්ම තමයි දූෂිත දේශපාලනය බිහිවුණේ. කතාවට කියනවනේ දේශපාලනිකව අනාථ වන අයගේ ලැගුම්හල ජාතිවාදයයි කියලා. නමුත් ඔබ ජාති ආගම් පසෙකලා අපේ රජය බලයට ගෙනාවේ මේ සංස්කෘතිය වෙනස් කරන්න කියලා අපි දන්නවා. පළමු වතාවටයි මේ රටේ ජනතාව ප්‍රතිපත්තිය හා දැක්ම බලලා ඡන්දය ලබා දුන්නේ.

ඊයේ මම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට සහභාගී වුණා. ඒ අතර එහි නිවාස කිහිපයකට ද ගියා. එම නිවාසවල එක් අයෙක් හෝ විදේශ ගත වෙලා, පවුලෙන් වෙන් වෙලා ඉන්නේ. මේකට හේතුව තමන්ගේ රටේ, තමන්ගේ ගමේ ඉදන් ආර්ථිකව දියුණු වෙන්න ක්‍රමයක් නොමැති වීම.

මෙතෙක් කාලයක් ගම සංවර්ධනය නොවුණේ ප්‍රාදේශීය සභා වලට මුදල් නොමැති නිසා නොවේ. පාලකයෝ ජනතා ප්‍රශ්න ගැන සංවේදී නොවූ නිසා.

ප්‍රාදේශීය සභාව තියෙන්නේ තමන්ගේ ගමට අවශ්‍ය සංවර්ධනය සිදු කරන්න. ගමේ පාරවල් , කාණු පද්ධතිය, පෙර පාසල්, බස් නැවතුම් පොළවල් වගේ දේවල් පවත්වගෙන යන්න. මේවා මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල්. අපි ඕනවටත් වඩා දුක් වින්දා. මේ සියලු දේවල් මේ පරම්පරාවෙන් ඉවර වෙන්න ඕනේ. ඊළඟ පරම්පරාවට ලස්සන පොහොසත් රටක් හිමිකර දීම තමයි අපේ අරමුණ."යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම හමුවට සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ජෙගදීශ්වරන් යන මහත්වරුන් සහ ජාතික ජනබලවේග පළාත් පාලන අපේක්ෂකයන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය