මගී ජනතාවට සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් සහතික කෙරේ.
දශක හයකට අධික ඉතිහාසයක් ඇති, වසර ගණනාවක් නිසි නඩත්තුවකින් තොරව පැවති කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, වර්තමාන රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමියගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.
1964 වසරේ ඉදිකරන ලද මෙම මධ්‍යම බස් නැවතුම්පොළ කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කර පසුගිය අප්‍රේල් 08 වන දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී. මගී ජනතාවට වඩාත් ගුණාත්මක සහ සුවපහසු ප්‍රවාහන සේවාවක් සැපයීම මෙහි මූලික අරමුණයි.
ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කාන්තාවන්ගේ සුවපහසුව සහ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබීම අග්‍රාමාත්‍යතුමියගේ ඇගයීමට ලක් විය. විශේෂයෙන්ම, දුර බැහැර සිට පැමිණෙන කිරිදෙන මවුවරුන් වෙනුවෙන් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ඉදිකර ඇති නවීන විවේක ස්ථානය විශේෂ ප්‍රශංසාවට ලක් විය.
මගී ආසන වෙන්කිරීමේ නවීන ක්‍රමවේද සහ මගීන්ට තොරතුරු ලබාගැනීම සඳහා ස්ථාපිත කර ඇති පද්ධති පිළිබඳව ද මෙහිදී සොයා බලන ලද අතර මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් බස් නැවතුම්පොළ පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති නවීන නිරීක්ෂණ මැදිරිය ඇතුළු ආරක්ෂක විධිවිධාන අග්‍රාමාත්‍යතුමිය විසින් පරීක්ෂාවට ලක් කරන ලදී.
මෙම සංචාරය අතරතුර, බස් නැවතුම්පොළේ රැඳී සිටි මගී ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ අග්‍රාමාත්‍යතුමිය, නවීකරණය කරන ලද පහසුකම් සහ ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳව ඔවුන්ගේ අදහස් විමසා සිටියාය.
රජයේ අරමුණ වන්නේ පොදු ප්‍රවාහන සේවාව යනු සාමාන්‍ය ජනතාවට ගෞරවනීය ලෙස පරිහරණය කළ හැකි, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ආරක්ෂිත සේවාවක් බවට පත් කිරීම බව මෙහිදී අවධාරණය කෙරිණි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය