අපේ අරමුණ අධ්‍යාපන පරිවර්තන තුළින් දරුවන් හැලෙන්නෙ නැති, අතරමං වෙන්නෙ නැති අධ්‍යාපනයක් නිර්මාණය කිරීම බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පෙබරවාරි 14 දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු හමුවකදි අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
"අධ්‍යාපනය තුළින් හැලෙන දරුවන්ට මොකක් හරි කරන්න ඕනේ හැලෙන්න දෙන්න බෑ කාටවත්. වෘත්තීය අධ්‍යාපනය කියන්නේ හැලෙන දරුවන්ට දෙන මොකක් හරි බෙහෙතක් නෙවෙයි. එහෙම නෙවෙයි අපි වෘත්තිය අධ්‍යාපනය ගැන හිතන්න ඕනේ. වෘත්තීය අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ කොටසක් විය යුතුයි. වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපන ක්‍රමය තුළම දරුවෙක්ට විවෘත වෙන්න ඕනේ.
හැමෝටම ඉංජිනේරුවරු, වෛද්‍යවරු වෙන්න බැහැ. එහෙම විය යුතුත් නැහැ. එහෙම සමාජයක් සමබර සමාජයක් නෙමෙයි. සමාජය පවතින්න නම් වෘත්තීන්, කුසලතා හා නිපුණතා ගණනාවක් අවශ්‍යයි. ඒ මාවත් අධ්‍යාපන ක්‍රමය තුළ විවෘත වෙන්න ඕනේ. එවැනි වෘත්තීය මාවත් විවෘත වෙන අධ්‍යාපන ක්‍රමයක් අපි යෝජනා කරලා තියෙනවා.
විශේෂයෙන්ම 9 වන ශ්‍රේණියේ සිට ඒ විදිහට තමන්ට යන්න පුළුවන් දිශානතිය මීට වඩා පුළුල් වෙන අධ්‍යාපනයක් තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. වෘත්තීන් තෝර ගන්න ඕනේ ඉගෙනගන්න බැරි නිසා නෙවෙයි. එය තෝරා ගැනීමක් විය යුතුයි. වෛද්‍යවරයෙක් වෙන්න තෝරා ගන්නවා හා වැදගත් වෙන්න ඕනි කෘෂිකර්මාන්තය, වඩු කර්මාන්තය ආදී කර්මාන්ත තෝරාගැනීමත්. සමාන වටිනාකමක් තියෙන තෝරා ගැනීමක් විය යුතුයි. ඒ වෙනස අධ්‍යාපන ක්‍රමය තුළත් සමාජය තුළත් ඇතිවෙන්න අවශ්‍යයි. ඒක තමා අපේ සැලැස්ම.
එය එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අවම වශයෙන් වසර දහයක් තුළ කිසිම දරුවෙක් හැලෙන්නෙ නැති අධ්‍යාපන ක්‍රමයක් හදන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ සඳහා පාසල් විෂය මාලාව වෙනස් කිරීම, පාසල් තුල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, විදුහල්පතිවරු සහ ගුරුවරුන්ගේ පුහුණු කටයුතු කාර්යක්ෂම කිරීම හා ඒ සඳහා මහජනතාවගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් අපි සූදානම් කරලා තියෙනවා."
මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල්වල විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු හා ගුරුවරුන්ගේ පවතින හිඟය, අත්‍යවශ්‍ය පාසල් උපකරණ වල පවතින හිඟය, පාසල් ගොඩනැගිලි සම්බන්ධයෙන් පවතින ගැටලු, පවතින ආර්ථික ගැටළු හේතුවෙන් දරුවන් පාසල් නොපැමිණීම, වන සතුන්ගෙන් පාසල් වලට සිදුවන හානි වැනි ගැටලු රාශියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමියගේ විශේෂ අවධානය යොමු විය.
මෙම හමුවට නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්මසිරි බණ්ඩාර, සුනිල් රත්නසිරි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ යන මහත්වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය