සංකීර්ණ ගෝලීය ආර්ථික අර්බුද හමුවේ වුවද දිට්වා සුළි කුණාටුව මගින් සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීමට පියවර

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම වෙනුවෙන් සිවිල් සමාජ සංවිධාන සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් මාර්තු 28 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විය.

මෙහිදී, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මූලාශ්‍ර කොට ගනිමින් දීමනා ගෙවීම සම්බන්ධව සහ සුරක්ෂිතතා කඳවුරු සම්බන්ධ තොරතුරු පිළිබඳව ද, රජය ගෙන ඇති ක්‍රියා මාර්ගයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව ද සංක්ෂිප්ත වාර්තාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා විසින් අග්‍රාමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන ලදී.

විශේෂයෙන් රජය ප්‍රකාශයට පත් කළ සහන සහ වන්දි ලබා ගැනීමේ දී ඉඩම්වල නීත්‍යානුකූල හිමිකමක් නොමැති දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වතුකර මලෛයිහම් දමිළ ප්‍රජාවගේ ඉල්ලීම් සම්බන්ධව අවධානය යොමු කළ අතර, ඒ සම්බන්ධව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම කෙරෙහිද අවධානය යොමු කෙරිණ.

2025 වසරේ ඇති වූ සුළිකුණාටුව මගින් සිදු වූ හානිය යථා තත්ත්වයට පත්කිරීම හා එම ක්‍රියාවලියට අදාල කමිටු හා අනුකමිටුවල වැඩපිළිවෙල කඩිනම් කිරීමට සැලසුම් කර ඇති බවත්, නිවාස 20,000 ක් අලුතින් ඉදි කිරීමටත්, අර්ධ හානි නිවාස එක්ලක්ෂ පහළොස් දාහක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමටත්, නිවසක් ඉදිකිරීමට සුදුසු ඉඩමක් දැනටමත් ඇති අය සඳහා රජය විසින් ලබා දීමට නියමිත රුපියල් මිලියන 5 ක මූල්‍ය ආධාරය ලබා දීමටත්, ප්‍රධාන නගර ආශ්‍රිතව පොදු පහසුකම් සහිත මහල් නිවාස සංකීණ ඉදිකිරීමටත් සැලසුම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදුලාල් බෝගහවත්ත මහතා මෙහිදී පැවසීය.

පීඩාවට පත් ප්‍රජාවගේ මෙන්ම විශේෂයෙන් කාන්තාවන්ගේ, දරුවන්ගේ සහ විශේෂ අවශ්‍යතා ඇති පිරිසගේ කායික මානසික හා සාමාජයීය සුබසාධනය සිවිල් සමාජ සංවිධාන, විශේෂ කමිටු සහ අනු කමිටු හරහා නිරන්තයෙන් අවධානයට යොමු කරන බවද නිලධාරීන් මෙහිදී අවධාරණය කළේය.

හානියට ලක්වූ නිවාස සංවර්ධනය කිරීමේදී ජනතාවට වඩාත් සුදුසු මෙන්ම නාගරික පොදු පහසුකම් සහිත ප්‍රදේශවල නිවාස ඉදිකිරීමටත්, නිරන්තරයෙන් ප්‍රජාව සමඟ සන්නිවේදනය කරමින් නැවත ආපදාවකට ලක් නොවන ස්ථානවල ඉදිකිරීම් සිදු කිරීම හරහා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කර සිටියාය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යශ ලේකම් ඉංජිනේරු එල්, කුමුදුලාල් බෝගහවත්ත, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. සී. ධර්මතිලක, සම කැඳවුම්කරුවන් වන රෝහණ හෙට්ටිආරච්චි සහ ගෞතමන් බාලවන් යන මහත්වරුන් ඇතුළු සිවිල් සමාජ සංවිධාන 33ක නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය