වෘත්තියේ අනාගතය රැදි තිබෙන්නේ තාක්ෂණික දැනුමෙන් පමණක් නොව, අවංකභාවය, හැඩගැසීමේ හැකියාව, නවෝත්පාදනය සහ රාජ්‍ය සේවය කෙරෙහි ඇති කැපවීම සහිත පරම්පරාවක් මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
සීමාවන්ගෙන් ඔබ්බට, ක්ෂිතිජයෙන් ඔබ්බට - ලෝකයේ අනාගතය සිතියම්ගත කිරීම" යන තේමාවෙන් අගෝස්තු 02වන දින කොළඹදී පැවති ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ ශතසංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
ජීවිත කාලයටම පිදෙන සේවා සම්මානය, ජාතික දායකත්ව සහ ව්‍යවසායකත්ව සම්මානය සහ දැයෙන් සමුගත් විරුවන් උදෙසා පිදෙන උපහාර සම්මානය යන සම්මාන ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණ.
අනතුරුව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.
මිනින්දෝරු වෘත්තිය කියන්නේ රටක සංවර්ධනයට පදනම වන ප්‍රධානතම වෘත්තීන්ගෙන් එකකි. ඔවුන්ගේ බොහෝ කාර්යයන් මහජනතාවට සෘජුවම නොපෙනුනද, තිරසාර සංවර්ධනය, කාර්යක්ෂම ඉඩම් කළමනාකරණය, යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම ඇතුළු ජාතික වර්ධනයේ සෑම අංශයකටම බලපානවා. හොඳින් සැලසුම් කළ සෑම නගරයක්, ආරක්ෂිත වනාන්තරයක්, කෘෂිකාර්මික සංවර්ධනයක් සහ සුරක්ෂිත ඉඩම් ඔප්පුවක් පිටුපසම නිපුණ මිනින්දෝරුවන්ගේ තාක්ෂණික දැනුම තිබෙනවා.
දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රධාන යටිතල පහසුකම් සහ වාරිමාර්ග ව්‍යාපෘති මගින් ජාතික සංවර්ධනය උදෙසා මිනින්දෝරු ක්ෂේත්රයේ ඇති අවශ්‍යතාව පැහැදිළි වෙනවා. ආරක්ෂිත ඉඩම් හිමිකම සහ කාර්යක්ෂම ඉඩම් පරිපාලනය සලසා දීම සඳහා දිවයින පුරා වසරකට ඉඩම් කැබලි 50,000 ක් පමණ මැනුම් කඩඉම් සලකුණු කරමින් රජයේ ඉඩම් හිමිකම් වැඩසටහනට සහාය වීමත් මේ වැනිම වැදගත් කාර්යයක්.
උතුරු මැද සහ උතුරු පළාත්වල වාරිමාර්ග සංවර්ධනය සහ ජල සම්පත් කළමනාකරණය සඳහා මිනින්දෝරුවන් විසින් වැව් 100 කට වැඩි ප්‍රමාණයක මැනුම් කටයුතු සිදු කර තිබෙනවා. මොරගහකන්ද ජලාශයේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව දක්වා ජලය ගෙන යන රජරට ඇළ ව්‍යාපෘතියේ දිගු භූගත උමගක් ඇතුළත් වන අතර, කැණීම් කටයුතුවල නිවැරදිභාවය සහ තත්ව ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා මිනින්දෝරුවන් විසින් එහි පෙළගැස්ම සහ බැසීමේ කෝණයන් (gradient) අඛණ්ඩව නිරීක්ෂණය කරනවා.
අධිවේගී මාර්ග සඳහා වන මැනුම් කටයුතු ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහාද ඔවුන්ගේ දැනුම හා නිපුණතාවය අත්‍යවශ්‍ය වී ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘති මගින් පෙන්නුම් කරන්නේ මිනින්දෝරුවන්ගේ නිවැරදි මිනුම් සහ තාක්ෂණික දැනුම මගින් දැවැන්ත ජාතික ව්‍යාපෘති සුරක්ෂිතව සහ නිවැරදිව සිදු කරන බවයි.
අද වන විට මිනින්දෝරුවරයෙකුගේ කාර්යභාරය ඉඩම් මායිම් මැනීමට පමණක් සීමා වී නැහැ. ලොව පුරා චන්ද්‍රිකා තාක්ෂණය, භූගෝලීය තොරතුරු පද්ධති (GIS), දුරස්ථ සංවේදනය (Remote Sensing), කෘතිම බුද්ධිය (AI), ඩ්‍රෝන තාක්ෂණය සහ ඩිජිටල් සිතියම්කරණයේ දියුණුව මගින් රජයන් නගර සැලසුම් කිරීම, ස්වාභාවික සම්පත් කළමනාකරණය, ආපදා ප්‍රතිචාර සහ රාජ්‍ය සේවා සැපයීමේ ආකාරය මුළුමනින්ම වෙනස් කර තිබෙනවා. විශ්වාසදායක භූ-අවකාශීය තොරතුරු වර්තමානයේ අත්‍යවශ්‍ය ජාතික සම්පතක් බවට පත්ව තියෙනවා.
අප ආර්ථික පුනරුදයක් සහ තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරන විට, අප කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ ඩිජිටල් ලෙස සම්බන්ධ වූ ආයතන ගොඩනැගිය යුතුයි. ඉඩම් පරිපාලනය ඇතුළු සියලුම ක්ෂේත්රවල ඩිජිටල් පාලනය ශක්තිමත් කිරීමට අපගේ රජය කැපවී සිටිනවා. දිගුකාලීන ජාතික සැලසුම්කරණයට නිවැරදි සහ පහසුවෙන් ලබාගත හැකි ඉඩම් තොරතුරු පද්ධතියක් අත්‍යවශ්‍ය යි. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනය වැනි වෘත්තීය ආයතන අතර සමීප සහයෝගීතාවයක් තිබීම ඉතාවැදගත්.
ගංවතුර, නියඟ, වෙරළ ඛාදනය සහ අනෙකුත් පාරිසරික අභියෝග හරහා දේශගුණික විපර්යාස අපගේ සමාජයට වැඩි වැඩියෙන් බලපානවා. ඒනිසා භූ-අවකාශීය විද්‍යාවේ වැදගත්කම තවත් වැඩි වනවා.
මෑතකදී ඇති වූ ’දිට්වා’ සුළි කුණාටුව (Cyclone Ditwah) සහ පසුව ඇති වූ විනාශකාරී ගංවතුර අපට මතක් කර දුන්නේ, යථා තත්ත්වයට පත්වීමේ සැබෑ මිණුම්දණ්ඩ වන්නේ නැවත ගොඩනැඟීමේ වේගය නොව, අප නැවත ගොඩනඟන දේවල ගුණාත්මකභාවය, ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාරභාවය බවයි.
බොහෝ නිවාස, රාජ්‍ය ගොඩනැගිලි, මාර්ග සහ ප්‍රජා යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු වූ අතර, බොහෝ අවස්ථාවලදී අනිසි ලෙස ස්ථාන තේරීම, අප්රමාණවත් සැලසුම්කරණය, දුර්වල ඉදිකිරීම් ප්රමිතීන් සහ ස්වාභාවික ආපදා පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් එම විනාශයන් තවත් වැඩි වුණා.
සාක්ෂි මත පදනම් වූ සැලසුම්කරණය සහ නිවැරදි සිතියම්ගත කිරීම අපට ඔරොත්තු දෙන යටිතල පහසුකම් ගොඩනැගීමට, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කිරීමට සහ අනාගත පරම්පරාවන් වෙනුවෙන් තොරතුරු සහිත නිවැරදි තීරණ ගැනීමට ඉතාම වැදගත්.
මම විශ්වාස කරනවා වෘත්තියේ අනාගතය රැඳී තිබෙන්නේ ශක්තිමත් තාක්ෂණික දැනුමෙන් පමණක් නොවෙයි, අවංකභාවය, නැවත හැඩගැසීමේ හැකියාව, නවෝත්පාදනය සහ රාජ්‍ය සේවය කෙරෙහි දැඩි කැපවීමකින් හෙබි පරම්පරාවක් මතයි.
ඔවුන් ප්‍රවේශ වන්නේ භූ-අවකාශීය තාක්ෂණයන්, කෘතිම බුද්ධිය (AI), දුරස්ථ සංවේදනය, ඩ්‍රෝන, චන්ද්‍රිකා ස්ථානගත කිරීමේ පද්ධති, ඩිජිටල් ට්වින්ස් (Digital Twins) සහ දත්ත විශ්ලේෂණවල දියුණුව මගින් ශීඝ්‍රයෙන් වෙනස් වන වෘත්තියකටයි. මෙම වෙනස් වන පරිසරය තුළ කාලෝචිත ලෙස රැඳී සිටීමට නම්, තරුණ වෘත්තිකයන් ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් අඛණ්ඩව යාවත්කාලීන කරගත යුතුයි වගේම ඉංජිනේරුවන්, සැලසුම්කරුවන්, පාරිසරික විද්‍යාඥයින්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ එක්ව කටයුතු කිරීමේ හැකියාව වර්ධනය කරගත යුතු බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවා ය.
ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ඒ. රුවන්තිලක, දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ නගරාධිපති, හිටපු අතිරේක මැනුම්පති පරාක්‍රම ශාන්ත, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, අතිරේක මැනුම්පති භාග්‍යා ප්‍රනාන්දු, හිටපු මැනුම්පති ශ්යාමාලී පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය