සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, ආචාර්ය සිරි වෝල්ට් (H.E. Dr. Siri Walt) මහත්මිය 2026 ජූලි 03 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූවාය.
තානාපතිනිය පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඇයගේ ධුර කාලය තුළ ලබාදුන් දායකත්වය අගය කළාය.
දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව, විශේෂයෙන් තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පවතින ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැලපෙන සහ තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කරන වෘත්තීය පුහුණු වැඩසටහන් දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතා මත පදනම් වූ වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රම බලකායේ කුසලතා ඉහළ නැංවීම, රැකියා අවස්ථා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදිය හැකි බව තානාපතිනිය මෙහිදී සඳහන් කළාය.
ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙපාර්ශ්වීය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර ප්‍රථම ලේකම් Justine Boillat, සංක්‍රමණ කටයුතු භාර ප්‍රථම ලේකම් Andrea Kienast, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය