නිපොන් පදනමේ සභාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

නිපොන් පදනමේ සභාපති වන යොහෙයි සසකාවා මහතා නොවැම්බර් 06 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

යොහෙයි සසකාවා මහතා උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය ඔහුගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය. එදින උදෑසන පැවති ලාදුරු රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සමුළුවට සහභාගී වූ සසකාවා මහතා ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේ ය. ආබාධ සහිත පුද්ගලයින්ට, විශේෂයෙන් විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට සහාය දැක්වීම සඳහා නිපොන් පදනම විසින් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සභාපතිවරයා පැහැදිලි කළේ ය.

ශ්‍රී ලංකා අංගාදේශක හා ඍජුකරණ වෛද්‍ය විද්‍යාලයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කළ සසකාවා මහතා රජයේ සහාය ඇතිව එම ආයතනය විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට යෝජනා කළ අතර මෙම යෝජනාව පිළිබඳ සලකා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන බවට මෙහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

උතුරු පළාතේ නිපොන් පදනම විසින් ගෙන යනු ලබන “පාසල් 100 ව්‍යාපෘතිය” මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැසසුමට ලක් කළ අතර ආබාධ සහිත සිසුන් සඳහා අධ්‍යාපනික හා සමාජීය වශයෙන් ඇතුළත් කිරීම වැඩිදියුණු කිරීම සඳහා රජයේ කැපවීම නැවත තහවුරු කළාය. ඇතැම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදුවන සම්පත් සීමාවීම් පිළිබඳ ව දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ජපානය ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගය කළා ය.

සියලු දෙනා ඇතුළත් සමාජයක් සහ සමාජ සුභසාධනය ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ජපානයේ කැපවීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු Akio Isomata මහතා මෙහිදී නැවත අවධාරණය කළේය.

අවසාන වශයෙන් අධ්‍යාපනය, ප්‍රවේශ්‍යතාව සහ සමාජ ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව, ජපානය සහ නිපොන් පදනම අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශයේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා මහතා; ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු Akio Isomata මහතා; ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Ryo Takaoka මහතා; සහ නිපොන් පදනමේ සභාපතිගේ ලේකම් Shota Nakayasu මහතා සහභාගී වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා; අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය; විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු සහ ඕෂනියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ මහත්මිය; සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු සහ ඕෂනියා අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ගයංගා ඩයස් මහත්මිය සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය