බේඩන් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුමට අග්‍රාමාත්‍යවරිය සහභාගී වෙයි.

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම සහ ලෝක බාලදක්ෂ ’සිතීමේ දිනය’ (Thinking Day) වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පෙබරවාරි 22 දින කොළඹ පිහිටි ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, බාලදක්ෂ ව්‍යාපාරය යනු හුදෙක් තනතුරු දැරීමක් නොව "සූදානම්ව සිටිමින්" අන් අයට උපකාර කිරීම සහ සේවය කිරීම සඳහා ලැබෙන උතුම් පුහුණුවක් බවයි.

නවීන තාක්ෂණය භාවිත කරන අතරම, අන්‍යයන්ට ගරු කරන විනයගරුක සහ බුද්ධිමත් ’ස්මාර්ට්’ බාලදක්ෂයෙකු ලෙස සමාජයට සේවය කිරීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. එසේම, ගස් වැවීම සහ ජල මූලාශ්‍ර රැකගැනීම වැනි පරිසර හිතකාමී වැඩසටහන් හරහා වගකීම් සහගතව රටේ අනාගතය සුරක්ෂිත කිරීමට දායක වන ලෙස ද අග්‍රාමාත්‍යවරිය බාලදක්ෂ දරුවන්ගෙන් ඉල්ලා සිටියාය.

මෙම උත්සවයේදී බාලදක්ෂ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා සංකේතාත්මකව ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම සහ ප්‍රථමාධාර කට්ටල ලබාදීම සිදු විය. එසේම, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා විසින් අග්‍රාමාත්‍යතුමිය වෙත විශේෂ බාලදක්ෂ මුද්දර එකතුවක් සහ සමරු කවරයක් ද පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, බාලදක්ෂ සංගමයේ නිලධාරීන් සහ දිවයිනේ නන් දෙසින් පැමිණි බාලදක්ෂ දරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය