තනතුරු අපිට ආභරණයක් නෙමෙයි, අපි නියෝජනය කරන්නේ මේ රටේ සියළු කාන්තාවන් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මේ ආණ්ඩුව බාරගත්තේ සමාජය වෙනස් කරන්න ඒ නිසා අපි වැඩ කරන්න අවශ්‍යයි.

මේ තනතුරු අපිට ආභරණවත් මේ බලය අපිව උන්මාදයට පත් කරන දෙයක්වත් නෙවෙයි, මේවා ලබා ගත්තෙත්, මේ ආණ්ඩුව බාරගත්තෙත් මේ සමාජ වෙනස, සමාජ පරිවර්තනය උදෙසා, ඒ නිසා අපිට වැඩ කරන්න අවශ්‍ය යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

"පුනරුදයේ කාන්තා සවිය ගොඩනගමු" යන තේමාවෙන් බොරැල්ල තැප්රොබේන් ශාලාවේදී මාර්තු 08 දින පැවති කාන්තා දින සැමරුම අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් කළාය.

මෙහිදී සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය,

මේ හමුව ඉඩ නැති තරමට සහෝදරියන්ගෙන් පිරිලා තියෙනවා දැකීම මට ඉතාම සතුටක්. මේවා තමයි අපි කරපු වෙනස්කම්. සියලු දෙනාටම සුබ කාන්තා දිනයක් කියල කියන්න මම කැමතියි. මට මතක් වුණේ, අවුරුද්දකට කලින් මාර්තු 08 වන දින අපි විරෝධතාවක් කරා පොල්දූව වටරවුමේ. අපිට එදා ජල ප්‍රහාර එල්ල කරා. ඒ මොහොතේ බැම්මක් උඩ නැගල කතා කරපු සරෝජිනී පෝල්රාජ් ඇමතිතුමියයි, සමන්මලී ගුණසිංහ මන්ත්‍රීතුමියයි මමයි අපි තුන්දෙනා අද පාර්ලිමේන්තුවේ, අපිව වට කරගත්ත තව මන්ත්‍රීවරියන් 17 දෙනෙක් ඉන්නවා. ඒ අය පාර්ලිමේන්තුවේ ඉද්දි අපිට පුදුම සතුටක් දැනෙන්නේ. ඒ නඩුව තාම යනවා ඒකෙ වැරැද්ද මල් පෝච්චි පාගපු එක. ඒ වගේම කොළඹ නගරාධිපති වෙන්න නියමිතයි ඒ නඩුවේ කොටස්කාරියක් අපේ ව්‍රායි සහෝදරිය. පාර්ලිමේන්තුවට විතරක් මන්ත්‍රීවරියන් පත් කරලා මදි. ව්‍රායි සහෝදරීව කොළඹ මහ නගර සභාවෙන් නගරාධිපති ධුරයට පත් කරන්න අපි සියලු දෙනා එකතු වෙන්න ඕන.

අපි මෙතනට ආවේ පහසු ගමනකින් නෙවෙයි. අපිට මේ ජයග්‍රහණ ගැන කතා කරන්න පුළුවන්, සමරන්න පුළුවන් නමුත් අපි මෙතනට ආවේ දිගු හා දුෂ්කර ගමනකින්. මේකට ඊට වඩාත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. තමන්ගේ විවාහ කල්දාපු, ජීවිත පරිත්‍යාග කරපු, සහෝදරියන් ඉන්නවා. තමුන්ගේ පවුල තමන්ගේ දරුවන් දෙවනුවට දාලා මේ සමාජ ආසාධාරණයට එරෙහිව පෙනී සිටින්න ඕනේ කියල තීරණ ගත්ත සහෝදරියෝ ඉන්නවා. ඒ වෙනුවෙන් පෙනී හිටපු සහෝදරියන්ගේ ජීවිත, දහඩිය කඳුළු මත හිටගෙන තමයි අපි මේ ජයග්‍රහණය සමරන්නේ. අපිට ඒක කවදාවත් අමතක කරන්න බෑ. මොකද ඉතිහාසය අපිට අමතක කරලා අනාගතයක් ගොඩනගන්න බෑ. ඒ කැපවීම මත තමයි අපි අද හිටගෙන ඉන්නේ. මේක තරඟයක් දුවලා ලබාගත්ත ජයග්‍රහණයක් නෙවෙයි, මේක ආරම්භයක්, සහෝදරියන් දන්නවා අපේ මේ දේශපාලනය කරන්නේත් ,මේ සාමූහික අරමුණේ යෙදෙන්නේ පාර්ලිමේන්තු යන්නවත් තනතුරු ලබා ගන්නවත් නෙමෙයි, ඒක නෙමෙයි අපේ අවසාන ඉලක්කය ඒ තනතුරු අපිට වගකීමක් තමයි. නමුත් ඒ තනතුරු අපිට ලබා ගැනීම හෝ පාර්ලිමේන්තුවට ඇතුල්වීම නෙමෙයි අපේ අවසාන ඉලක්කය.

මේ සමාජය වෙනස් කරන එක සමාජය පරිවර්තනය කරන එක අදට වඩා ශිෂ්ට සම්පන්න සහකම්පනය තියෙන සාමූහික හැඟීම තියෙන , කිසි කෙනෙක් අත හරින්නේ නැති සියලු දෙනාටම ගරුත්වය තියෙන සුරක්ෂිත සමාජයක් ගොඩනගන එක තමයි අපේ අරමුණ. ඉලක්කවලට අපි තාම ලං වෙලාවත් නෑ අපිට තව ගොඩාක් දුරක් තියෙනවා. අපි ඒ අරගලේ ඉතාමත් වැදගත් තැනක ඉන්නේ.

අපි ආණ්ඩු බලය ලබාගත්තා නමුත් අපි කිසි දිනක කොයි මොහොතකවත් අමතක කරන්න බෑ මොකක් වෙනුවෙන්ද අපි ආණ්ඩුව පිහිටෙව්වේ කියලා මොකක් වෙනුවෙන්ද අපි මේ තනතුරු ලබා ගත්තේ. තව දිනා ගන්න බොහෝ දේවල් ඉතුරු වෙලා තියෙනවා. මේ ගමන ආරම්භ කළා පමණයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ සහෝදරියන් අපිට විශාල ශක්තියක්. අපි කොතැන ගියත් නියෝජනය කරන්නේ ඔබ සියලු දෙනා ඔබව තමයි ඔබ තුළ සිදුවූ ඒ සංවිධානගත වීමේ සාමූහිකත්වය තුළින් තමයි ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වෙනස සිද්ධ වුණේ. ඒ දේශපාලන තත්ත්වය බලවත් වෙනසක් සිද්ධ වුණේ ඔබ සියලු දෙනා නිසා, ඉතින් අපි ඔබේ නියෝජිතයන් ,නමුත් මේ පරිවර්තනය කරන එක අපේ සියලු දෙනාගේම වගකීමක් වෙනවා

මේ වනවිට කලින් සිදු කරලා තියෙන දේශපාලනිකව කරල තියෙන වැරදි ගොඩක් අපිට නිවැරදි කරන්න සිද්ධ වෙලා තියෙනවා.

ඉතින් ඒ නිවැරදි කිරීම කරන ගමන් තමයි අපි මේ රට යා යුතු දිශාවට සියලු දෙනාටම ගෞරවනීය ජීවිත ගත කරන්න පුළුවන් රටක් හදන්න ඒ මාර්ගයට අපි යොමු කරමින් ඉන්නේ. එතකොට ඒ යොමු කිරීම තුළ අපි සියලු දෙනාටමත් කාර්යභාරයක් තියෙනවා අපි විවිධ අවස්ථාවල අපේ කණ්ඩායම ඔබත් එක්ක සංවාද කරනකොට මේ වගේ ඔබව අමතන කොට අපි කිව්වා ගැහැණු අපි එක මිටට එකතු වෙන්නේ ඉතිහාසය වෙනස් කරන්න කියලා. ඉතිහාසය වෙනස් කරන තව කෙනෙක්ට භාර දෙන්න නෙවෙයි ඉතිහාසය ලියන ගැහැණුන් බවට පත් කරන්න කියලා අද ඔබ ඒ ඉතිහාසය ලියන ගැහැණුන් බවට පත්වෙලා. මේ රටේ අනාගතය තීරණය කරන මේ රටේ අනාගත දිශානතියට බලපෑමක් කරන ශ්‍රේෂ්ඨ බලවේගයක් බවට ඔබ අද පත්වෙලා තියෙන්නේ.

බිමල් සහෝදරයා කිව්වා අපිට තියෙන අරගලය මේ රටේ ගැහැනුන් පුරවැසියන් බවට පත්කරන එක කියල අපි සියලු දෙනාම මේ රටේ ආර්ථිකයට සම්බන්ධ වෙලා තියෙනවා. සංස්කෘතියට සම්බන්ධ වෙලා තියෙනවා මේ සමාජයේ පවත්වාගෙන යාමට සම්බන්ධ වෙලා තියෙන හැබැයි බොහෝ අවස්ථාවලදී අපිව පුරවැසියන් හැටියට ලැබිය යුතු තැන ලැබිය යුතු වටිනාකම අපිට ලැබුණේ නෑ අපට අවශ්‍ය වෙලා තියෙන්නේ ගැහැනුත් මේ රටේ පුරවැසියන් කියලා සලකන අපිට කිසිම කලාපයක් තහනම් නොවන අපි ගැහැනු වීම නිසා අපිට සීමාවක් නොවැටෙන සමාජයක් බිහිකරන්න ඒක තමා අපේ ඉලක්ක ඒක තමා අපට අවශ්‍ය ගැහැනුකම් අපේ දුරුවලතාවයක් ලෙස නොදකින, අපිට ප්‍රහාර එල්ල නොකරන සමාජයක් හදන්න මේක සංකීර්ණ දෙයක් මේක දවසකින් දෙකකින් වෙනස් කරන්න බෑ ගැහැණු අපි තුළත් විවිධත්වයක් තියෙනවා අපි කතා කරන භාෂාව අපේ ජාතිය අපේ ආගම අපේ කුලය මේ සියල්ලම බලපාලා තියෙනවා අපේ ජීවිතය තුළ අපිට ලැබිලා තියෙන අවස්ථා අපේ ජීවිතය මත පැනවිලා තියෙන සීමාවන් මේවා විවිධ හේතූන් නිසා තමයි අපි තුළ ඇති කරලා තියෙන්නේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම සාමූහිකව ගමනක් යන්න පුළුවන් කාවවත් අතහරින් නැති සියලු දෙනාම රැකගෙන සියලු දෙනාම එකමුතු වෙලා සියලු දෙනාම රැගෙන යන්න පුළුවන් ගමනක් තමයි අපි යන්න උත්සාහ කරන්නේ.

සම්බන්ධතා වැඩිපුරම පවත්වාගෙන යන්න මහන්සි වෙන්නේ ගැහැනු. ඒ සඳහා අත්‍යවශ්‍ය කාරණයක් තමයි සහකම්පනය. අපට අවශ්‍ය වෙන්නේ මේ සහකම්පනය ගැහැණු ගතියක් නෙමෙයි මනුස්ස ගතියක් බවට පත් කරලා එය සමාජ ගත කරලා එවැනි සහ කම්පිත සමාජයක් ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනය නායකත්වය ගැහැණු අපි ලබාගන්නවා විතරක් නෙමෙයි මේ පරිවර්තනය බලවත්ම බලවේගය බවට ගැහැණු අපි පත්වෙනවා විතරක් නෙමෙයි පත්වෙලා ඉවරයි.

අපේ මේ දීර්ඝ ගමනේ ජය සමරන්නත් අවශ්‍යයි. අද එවැනි දවසක්. අපිට කෑ ගහලා ඕනේත් සතුටු වෙන්න පුළුවන් දවසක් අද අපි ඒක කරමු නමුත් මතක තියාගන්න අවසානයේ මේක නෙවෙයි අපිට තව ඉදිරි ගමනක් තියෙනවා මැතිවරණ දිනා ගන්න විතරක් නෙමෙයි. ඒ මැතිවරණ දිනලා අපිට ලැබෙන බලය හරහා මේ රට පරිවර්තනය කරලා මේ අරමුණු ඉටු කර ගන්න මහන්සි වෙන්න ඕන. ඔබ සියලු දෙනාට ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ තමයි අපේ ශක්තිය ඔබ හරහා තමයි අපිට මතක් වෙන්නේ ඇයි අපි උදේට නැගිටින්නේ කියලා.

මෙම හමුවට, පාර්ලිමේන්තු මන්ත්‍රී කෞශල්‍යා ආරියරත්න, සමන්මලී ගුණසිංහ ඇතුළු මන්ත්‍රීවරියන්, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා, කොළඹ නගර සභා අපේක්ෂිකා ව්‍රායී කැලී බල්තසාර් යන මහත්ම මහත්මීන් සහ පක්ෂ සමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය