කිසිඳු දරුවෙකු අත් නොහළ යුතුය, සියලු දරුවන්ගේ අනාගත යහ පැවැත්ම තහවුරු කළ යුතුය යන, ජනාධිපතිවරයාගේ සංකල්පය අනුව ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයෙන් සමාජ ගත වූ වත්මන් රජයේ බලවත්ම අපේක්ෂා අතරින් එකක් “අර්ථ” නමින් අද යථාර්ථයක් බවට පත්වීමේ මුල් පියවර තැබීය.
ළමා නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථානවල වෙසෙන දරුවන්ගේ ජීවිත නගාසිටුවීමේ අරමුණින් එම දරුවන් වෙත මාසිකව රුපියල් පන්දහසක දීමනාවක් ලබා දීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජූලි 15 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්විණි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැගෙන “අර්ථ” වැඩසටහන සමඟ නිල බැංකුව වශයෙන් මෙරට කීර්තිමත් රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව අත්වැල් බැඳගෙන සිටියි. දරුවන් වෙත මාසිකව රජය විසින් පිරිනැමෙන රුපියල් පන්දහසෙන් රුපියල් තුන්දහසක මුදලක් ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඔවුන් වෙසෙන සුරැකුම් නිවාස භාරකාරත්වය වෙත ලබා දෙන අතර, ඉතිරි රුපියල් දෙදහසක මුදල එම දරුවන්ගේ නමින් බැංකු ගිණුමේ තැන්පත් කරනු ලැබේ. ඒ ඔවුන් සමාජගතවන අවස්ථාවක ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනික හෝ වෘත්තීය කටයුත්තක් වෙනුවෙන් යොදාගත හැක වන පරිදි ඔවුන් වෙනුවෙන් සිදුකරන ඉතිරි කිරීමක් වශයෙනි.
මෙම උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යතුමිය,
විවිධ හේතූන් නිසා විවිධ අවස්ථාවලදී, පවුල තුළ හා ප්‍රජාව තුළ මව්පිය රැකවරණය යටතේ තම නිවසේ ජීවත්වීමේ අවස්ථාව අහිමි වන දරුවන්ට හිමි වන අවසන් විකල්පය තමයි ළමා නිවාස හෝ එවැනි සුරැකුම් මධ්‍යස්ථාන. එවැනි ආයතන තුළ ජීවත් වන දරුවන්ගේ වර්තමාන ජීවිතය වගේම අනාගතයත් සුරක්ෂිත කර දීම රජයේ යුතුකමක් හා වගකීමක් හැටියටයි අපි දකින්නෙ.
රජයක් හැටියට මේ දරුවන්ගේ අධ්‍යාපනය තහවුරු කිරීම, ඒ දරුවන්ගේ කායික මානසික සෞඛ්‍ය ගැන බලාගැනීමේ වගකීම අපට තියෙනවා. ඒ නිසා සියලුම දරුවන්, දරුවන් හැටියට සලකලා සියලූම දරුවන් රැකබලාගැනීමේ වගකීමෙන් රජයකට බැහැර වෙන්න බැහැ. අන්න ඒ අර්ථයෙන් තමයි අද අපි මේ ක්‍රියාවට නගන අර්ථ නම් ව්‍යාපෘතියත් අර්ථවත් ජාතික ව්‍යාපෘතියක් වෙන්නෙ. මේ නිවාසවල ඉන්න දරුවන්ගේ අනන්‍යතාවයට හානි නොවන ආකාරයෙන් ඔවුන්ගේ වර්තමානයත් අනාගතයත් සුරක්ෂිත කිරීම තමයි අපේ මේ අර්ථ ව්‍යාපෘතියේ ප්‍රධානම අරමුණ සහ අපේක්ෂාව වෙන්නෙ යැයි අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළාය.
මෙලෙස රැකවරණ නිවාසවල ජීවත් වන දරුවන් ද අපේම දරුවන් සේ සැලකිය යුතුයි, සෙසු ළමුන්ට හිමි සියලූම ළමා හිමිකම් සහ අයිතිවාසිකම් මෙම ළමුන්ට ද අයිති වග අප සිහි තබාගත යුතුයි. එම ළමා අයිතිවාසිකම් ආරක්ෂාකරදීම ද මෙම අර්ථ ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණක් වෙනවා. මෙම දරුවන්ගේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීම සැමගේ වගකීම බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය මෙම දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය තහාවුරු කිරීමේ ප්‍රධානතම වගකීම පැවැරෙන පරිවාස දෙපාර්තමේන්තුවට එම වගකීම නිසි ලෙස ඉටුකරන ලෙස ඉල්ලා සිටින බව ද අවධාරණය කළාය.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රජයේ මංගල අයවැයෙන් රුපියල් මිලියන දහසක් වෙන් කර ඇති අතර, එයින් රට පුරා පිහිටා ඇති ළමා රැකවරණ මධ්‍යස්ථාන 356ක සිටින, අත් හළ, අනාථභාවයට පත් හෝ අධිකරණය මගින් ළමා රැකවරණ ආයතන වෙත යොමු කර ඇති, දරුවන් 9191 කට මාසිකව රුපියල් පන්දහස බැගින් පිරිනැමීම අර්ථ ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ. දැනට ක්‍රියාත්මක ළමුන් රැක බලාගන්නා ආයතන 356 ක් පවතියි.
විෂය භාර අමාත්‍යවරිය වශයෙන් සභාව ආමන්ත්‍රණය කළ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්,
තම ජීවවිද්‍යාත්මක නිවසින් බැහැරව ළමා නිවාස හෝ එවැනි රැකවරණ මධ්‍යස්ථානයක සිටින දරුවන්ගේ වගකීමට උරදීමට රජයක් වශයෙන් මෙවැනි වැඩ පිළිවෙළක් ක්‍රියාවට නගන ඉතිහාසයේ පළමුවන අවස්ථාව මෙය බව පැවසුවාය. මෙය මානුෂීය වගකීමක් බවත් ඊට මෙරට සියලු පුරවැසියන් දායක වී ඇති බවත් ඇය වැඩිදුරටත් කීවාය.
මෙම අවස්ථවට, නියෝජ්‍ය කතානායක මොහෝමඩ් රිස්වි සාලී, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ළමා හා කාන්තා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය නාමල් සුදර්ශන , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී , අමාත්‍යාංශ ලේකම් කේ. ඩී.ඔල්ගා, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් අර්ථ ප්‍රතිලාභ ලාභීන් වන ළමා නිවාසවල පාලක පාලිකාවන්මෙන්ම මෙම උත්සව අවස්ථාව වර්ණවත් කරන්නට සිය කුසලතාවෙන් දායක වූ ළමා නිවාස නියෝජනය කළ දරුදැරියන් ද එක්ව සිටිය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය