BIMSTEC මහලේකම්වරයා අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි.

2027 ජනවාරි මාසයේ සිය ධූර කාලය අවසන් කිරීමට නියමිත BIMSTEC මහලේකම් ඉන්ද්‍ර මනි පාණ්ඩේ මහතා 2026 නොවැම්බර් 11 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මහලේකම්වරයා පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, සිය ධුර කාලය තුළ BIMSTEC සංවිධානය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔහු විසින් ඉටු කළ සේවය සහ ලබා දුන් දායකත්වය පැසසුමට ලක් කළාය.

BIMSTEC සාමාජික රටවල් අතර සංවර්ධන සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ මහලේකම්වරයා, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය සහ මානව සම්පත් සංවර්ධන ක්ෂේත්‍රවල නව වැඩසටහන් ඔස්සේ අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය. එමෙන්ම BIMSTEC සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව ද සිය කෘතඥතාව පළ කළේය.

කලාපීය සහයෝගීතා ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණයක් ලෙස BIMSTEC සංවිධානය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා හවුල්කාරිත්වයන් පුළුල් කිරීම සහ කලාපීය හා ජාත්‍යන්තර සංවිධාන සමඟ හා සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය. සාමාජික රටවල් අතර මෙන්ම ලෝකයේ අනෙකුත් කලාප සමඟ ද විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ සහයෝගීතාව සඳහා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය.

මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය