බෙල්ලන්විල ඇසළ පෙරහැර අපගේ ජීවමාන ආගමික හා සංස්කෘතික උරුමයක් – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අපගේ ආගමික හා සංස්කෘතික උරුමය පරම්පරාවෙන් පරම්පරාවට සුරැකීමටත්, අනාගත පරපුර වෙත එය සජීවීව ගෙන යාමටත් බෙල්ලන්විල ඇසළ පෙරහැර වැනි ආගමික හා සංස්කෘතික උත්සව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී අද (15) පැවැති 76 වන සාංවත්සරික බෙල්ලන්විල ඇසළ පෙරහැර මංගල්‍යයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානය ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය තුළ මෙන්ම මෙරට සංස්කෘතික හා කලාත්මක උරුමය සුරැකීමේදීද සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, ඇසළ පෙරහැරක් යනු හුදෙක් අලංකාර සංස්කෘතික පෙරහැරක් නොව, ආගමික විශ්වාස, සම්ප්‍රදායික නර්තන, සංගීතය, ශිල්පීය හැකියාවන් සහ සාමූහිකත්වය එක් කරන ජීවමාන උරුමයක් බව ප්‍රකාශ කළාය.

මෙවැනි උරුමයන් ආරක්ෂා කිරීම අතීතය පමණක් ආරක්ෂා කිරීමක් නොවන අතර, අනාගත පරපුරට තම සංස්කෘතික අනන්‍යතාව හඳුනා ගැනීමට සහ එය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය අවකාශය සලසා දීමක් බවද ඇය පැවසුවාය.

විශේෂයෙන්ම දරුවන් හා තරුණ පරපුර තුළ සම්ප්‍රදායන් සහ සංස්කෘතික උරුමයන් පිළිබඳ ගෞරවයක් ඇති කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, බුදු දහම මගින් උගන්වන කරුණාව, මෛත්‍රිය, අහිංසාව සහ සහජීවනය වැනි වටිනාකම් දෛනික ජීවිතයට එක් කරගැනීමේ අවශ්‍යතාවද අවධාරණය කළාය.

එමෙන්ම සාම්ප්‍රදායික කලා ශිල්පීන්ගේ දැනුම, කුසලතා හා සම්ප්‍රදායන් අනාගත පරපුර වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම රජයේ වගකීමක් බවද ඇය සඳහන් කළාය.

බෙල්ලන්විල ඇසළ පෙරහැර සාර්ථකව සංවිධානය කිරීම සඳහා කැපවන විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, දායක සභාවට, සංවිධායක මණ්ඩලයට, සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්, බෙර වාදකයින් සහ සියලු කලාකරුවන්ට අග්‍රාමාත්‍යවරිය සිය ගෞරවනීය ස්තූතිය පළ කළාය.

මෙම අවස්ථාවට එක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ ,

“පෙරහැර මහෝත්සවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින්, අපේ බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය ඉදිරියට ගෙන යන්න අපි සියලු දෙනාටම වගකීමක් තියනවා වගේම රජයක් විදිහට අපි ඒ සඳහා හැකි උපරිම ආකාරයෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙන්න සූදානම්. ආගමික සහ ජාතික සමගිය ඇති කරමින් සියලුදෙනා සමග ඉදිරියට යන්න මේ මහෝත්සවය මහඟු උපකාරයක් ” වන බවයි.

මෙම අවස්ථාව සදහා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ඇතුළු පූජ්‍ය මහා සංඝරත්නය ද,විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු මහජන නියෝජිතයන්,රාජ්‍ය නිලධාරීන් හා සැදැහැවතුන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය