හොරණ රජමහා විහාරස්ථ නවම් මහා පෙරහැර අගමැතිනියගේ සහභාගීත්වයෙන් ඇරඹෙයි.

ඓතිහාසික රයිගම් කෝරළයේ හොරණ රජමහා විහාරස්ථානයේ 2026 නවම් මහා පෙරහැර මංගල්‍යය වීථි සංචාරය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ (14) දින රාත්‍රියේ සිදු කෙරිණ.

මෙරට බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ උපුල්වන් ශ්‍රී විෂ්ණු දේව ප්‍රතිමාව පෙරටු කරගත් මහා පෙරහැර මෙවරත් ඉතා උසස් අන්දමින් සංවිධානය කර තිබිණි. කරඩුව තැන්පත්කර අග්‍රාමාත්‍යතුමිය විසින් මල් පූජා කිරීමෙන් අනතුරුව පෙරහැර වීථි සංචාරය කිරීම සිදු කෙරිණ.

මෙම උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ වැඩම කළ බෝධීන් වහන්සේ නමකගේ ආශිර්වාදය ලබන මෙම පින්බිම, දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දේවප්‍රතිරාජ ඇමතිතුමන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඉතා පූජනීය ස්ථානයක් බවයි. කලක් වැසී තිබී පල්කුඹුරේ අත්ථදස්සි නාහිමියන් ඇතුළු විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යයෙන් යළි ගොඩනැඟුණු මෙම විහාරස්ථානය, අද වන විට ප්‍රදේශයේ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් විහාරස්ථානය හා බැඳුණු හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය (පිරිවෙන) මෙරට ශාසනික හා අධ්‍යාපනික ඉතිහාසයේ දැවැන්ත මෙහෙවරක් ඉටුකර ඇති බවද අග්‍රාමාත්‍යතුමිය පැවසීය.

මෙම අවස්ථාවට විහාරාධිපති මදුරාවල සෝභිත නායක ස්වාමීන් වහන්සේ, ලබුගම නාරද නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය