ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් සඳහා ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ඔක්තෝබර් 4 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්, සැප්තැම්බර් 21 වැනි දින පැවති ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග සන්ධානයේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ගේ සුබපැතුම් පිරිනැමූ අතර, සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාවේ කැපවීම පිළිබඳව ඔහු සහතික විය. "ඔබට අපගේ පූර්ණ සහයෝගය ගැන විශ්වාස තැබිය හැකිය," ඔහු පැවසීය.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ලබාදුන් සහය වෙනුවෙන් ඉන්දියාවට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරිය කඩිනම් ආර්ථික සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය අවශ්‍ය බව අවධාරණය කළාය. ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයේ සංක්‍රාන්ති සමයක් පසු කරමින් සිටින බව ඇය පැහැදිලි කළාය.

ඩිජිටල්කරණ ප්‍රයත්නයන් පිළිබඳව අවධාරණය කළ ආචාර්ය අමරසූරිය, ග්‍රාමීය ප්‍රදේශවලට ඩිජිටල්කරණය ව්‍යාප්ත කිරීමේ ඉන්දියාව සතු අතිවිශාල අත්දැකීම් ශ්‍රී ලංකාවට ප්‍රයෝජනයට ගත හැකි බව පැවසීය. ඩිජිටල්කරණය මගින් නාස්තිය, දූෂණය සහ ගණුදෙණුවල සිදුවන අක්‍රමිකතා අවම කිරීමට ඉවහල් වන බවත් එය නිෂ්පාදනවලට, ගැනුම්කරුවන්ට මෙන්ම ගොවි ප්‍රජාවට විශාල ප්‍රතිලාභයක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය අමාත්‍යවරයා අවධාරණය කළහ.

අමාත්‍ය ජයශංකර් පැවසුවේ ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ඩිජිටල් වේදිකාවේ දැනුම බෙදාහදා ගැනීම දිගටම කරගෙන යන බවයි. ගති ශක්ති වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම වේගවත් කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව පුහුණු කරන බව ඔහු පැවසීය. රේගු, ආදායම් බදු සහ තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ධාරිතාව ගොඩනැගීමේ වැඩසටහන් පුළුල් කිරීමට ඉන්දියාවට හැකි බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව වැනි අසල්වැසි රටවල් ඉන්දියාවට අතිශයින් වැදගත් බවත් ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඉමහත් හොඳ හිතක් පවතින බවත් අමාත්‍ය ජයශංකර් මහතා පැවසීය. තම සමීපතම සමුද්‍රීය අසල්වැසියා සහ කල්පවත්නා මිතුරා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අඛණ්ඩ කැපවීම අවධාරණය කිරීම තම සංචාරයේ ප්‍රධාන අරමුණ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අමාත්‍යවරයා විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළහ.

ඉන්දීය දූත පිරිසට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, අතිරේක ලේකම් (ඉන්දියානු සාගර කලාපය) පුනීත් අගර්වාල්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම ලේකම් සන්දීප් කුමාර් බයාපු සහ නියෝජ්‍ය මහ කොමසාරිස් සත්‍යංජල් පාණ්ඩේ ඇතුළත් විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතත්‍රි, විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (දකුණු ආසියාව) නිලූකා කදුරගමුව, අග්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සුගීස්වර සේනාධිර සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පියුමි බණ්ඩාර යන අය ද එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය