දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුජරාට් ආණ්ඩුකාරවරයා අගමැතිනිය හමුවෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට ප්‍රදර්ශනය කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර Acharya Devvrat මහතා සහ ගුජරාට් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති Harsh Sanghvi ඇතුළු පිරිසක් පෙබරවාරි 05 දින පාර්ලිමේන්තු සංකීරණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම්වලින් සොයා ගත් බුදුරජාණන් වහන්සේගේ මෙම ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති අතර, පසුගියදා සිදුවූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදාකරදී තිබේ.

ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව පෙබරවාරි 05 වැනිදා සිට පෙබරවාරි 11 වනදා දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන අතර එම කටයුතු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණ.

මේ අතර පෙබරවාරි 04 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රථම මල් වට්ටිය පූජා කිරීමෙන් අනතුරුව සර්වඥ ධාතු වන්දනාව නිළ වශයෙන් ආරම්භ කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සර්වඥ ධාතු වන්දනාව සඳහා එක්වූවාය.

මෙම හමුවට ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශයේ සම ලේකම් Samar Nanda, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහකොමසාරිස් ආචාර්ය Satyanjal Pandey, ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් Abhijit Halder, යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය