නිර්ණායක නැතුව උසද,කොටද බලලා අපි රැකියා දෙන්නේ නැහැ ඒ සඳහා නිසි ක්‍රමවේදයක් රජයට තිබෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රැකියා ලබා දීමේ නිසි ක්‍රමවේදයක් රජයට තිබෙන බවත්, පැවති රජයන් මෙන් උසද කොටද යන්න සලකා රැකියා ලබා නොදෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අයවැය විවාදයේ පාර්ලිමේන්තුවේ මතුකරන ලද ප්‍රශ්න සදහා අද (18) පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන කළාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

නිදහස් අධ්‍යාපනය තුළින් ශිෂ්‍යයන් සදහා කරන වියදම් සාමාන්‍ය අධ්‍යාපනයේ ප්‍රාථමික සහ ද්විතීයික මට්ටම සදහා වෙන් වෙන්ව දත්ත නැහැ. මේ මට්ටම් දෙකටම පොදුවේ එක් ශිෂ්‍යයෙක් සඳහා 2020 සිට 2025 දක්වා පහත පරිදි වැය කර තිබෙනවා. 2020 වර්ෂයේ 60,136යි. 2021 වර්ෂයේ 63498යි 2022 වර්ෂයේ 75096යි 2023 වර්ෂයේ 87594යි, 2024 වර්ෂය සදහා97784යි. 2025 වර්ෂය සදහා ඇස්තමේන්තු ගත මුදල මිලියන 1යි 15,715ක් ලෙස වෙන් කර තිබෙනවා. තෘතියික මට්ටම සඳහා එක් එක් විෂය ධාරාව අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනය හදාරන දරුවෙක් වෙනුවෙන් හාරලක්ශ පන්දහස් තුන්සිය දහතුනක් වැය කරනවා. මේ තොරතුරු පුනරාවර්තන වියදම් අනුවයි ඉදිරිපත් කළේ.

නිදහස් අධ්‍යාපනය ලබන එක් ශිෂ්‍යයෙක් වෙනුවෙන් වාර්ෂිකව රජය දරන වැය බර පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිලිගත් අධ්‍යයනයක් මේ වෙනකම් කරලා නැහැ.

විවිධ ⁣විෂයන් යටතේ උපාධිය අවසන් කරලා රැකියා සොයා ගැනීමට ගතවන කාලය පිලිබඳ විශ්වවිද්‍යාල වල යම් යම් අධ්‍යයනයන් සිදු කර තිබෙනවා. නමුත් වාර්ෂිකව සිදු කරන අධ්‍යයන නෙමෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අභ්‍යන්තර, බාහිර සහ දුරස්ථ ලෙස වෙන වෙනම විස්තර ලබා ගැනීමේ හැකියාවක් නැහැ.

උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීමට ඇති ගැටළු පිලිබඳවත් විවිධ අධ්‍යයනයන් කර තිබෙනවා. ඒ අනුව පැහැදිලි වෙන්නේ උපාධිධාරී විරැකියාව පිළිබඳ එක හේතුවක් කියන්න බැහැ. විවිධ හේතු තියනවා. සාමාන්‍ය අධ්‍යාපනය තුල තිබෙන අවස්ථා මේකට ගොඩාක් බලපානවා. රැකියා ලබා ගැනීමේදී එකිනෙකා සතු සමාජ සම්බන්ධතා අනුවත් රැකියා ලබාගැනීමේ අවස්ථා තීරණය වෙනවා. විශේෂයෙන් පෞද්ගලික ක්ෂේත්‍රයේ. විරැකියාව සංකීර්ණ විෂයක්. ඒ සදහා හේතු ගණනාවක් බලපානවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නවක උපාධිධාරීන් සඳහා වෘත්තීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශන කමිටු පවත්වාගෙන යනු ලබනවා. විශ්ව විද්‍යාලවල තිබෙන වෘත්තිය මාර්ගෝපදේශන ඒකකවල අධ්‍යක්ෂක එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. සියලුම විශ්වවිද්‍යාල පුරා, වෘත්තීය මාර්ග උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. උපාධි අපේක්ෂකයින් සහ කර්මාන්ත ඉල්ලුම අතර පරතරය පියවීමට රැකියා වෙළඳපොළ පවත්වන අතර පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගැනීමට ව්‍යාපාරික සම්බන්ධතා ස්ථාපිත කර තිබෙනවා.

රජයේ පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරීන් තිස්පන් දහසක් බඳවා ගැනීමට කටයුතු කරමින් යනවා. ඒ සදහා අදාල අමාත්‍යංශය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අමතරව අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන දස දහසක් වෙන් කර තිබෙනවා. මේ අතරින් වැඩි පිරිසක් බඳවා ගන්නේ ගුරුවරුන් ලෙසයි. උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පවතින නඩුව අවසන් වීමෙන් පසු අදාල තීන්දුව අනුව බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරනවා. අනෙකුත් බඳවා ගැනීම් නියමිත බඳවා ගැනීමේ පටිපාටිය මත සිදුකරනවා.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.

"මම මේ ප්‍රශ්නයට මේ වන විටත් පිළිතුරු ලබාදීලා තිබෙනවා. රජයේ ‍ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන ආකාරයට අපි බඳවා ගැනීම සිදු කරනවා. මෙතෙක් පැවති ආණ්ඩු වගේ අපි හිතෙන හිතන විදිහට නිර්ණායකයක් නැතුව උසද කොටද බලලා නෙමෙයි රැකියා ලබා දෙන්නේ. යම්කිසි ක්‍රමවේදයක් තිබෙනවා.රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබාදෙන තීන්දු තීරණ සහ ප්‍රතිපත්ති අනුව තමයි රැකියා ලබාදීම සිදුකරන්නේ. විභාග‍, සම්මුඛ පරීක්ෂණ තියලා දැනටමත් අපි නිසි ක්‍රමවේද අනුගමනය කරලා දස දහසකට ආසන්න රැකියා ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. රැකියා පුරප්පාඩු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් තිබෙනවා. ඒ මගින් පුරප්පාඩු හඳුනාගෙන අවශ්‍ය පුරප්පාඩු පුරවන්න කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය