රජය කිසිම කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් හෝ විශේෂ ප්‍රවර්ධනයක් කරන්නේ නැ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා ගන්න එපා

රජය කිසිම කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් හෝ විශේෂ ප්‍රවර්ධනයක් සිදු නොකරන බවත්, සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (08) පාර්ලිමේන්තු විවාදයේදී විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවන් (LGBTIQ+) සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය,

සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා ගන්න එපා. එවැනි කාරණා ඉදිරිපත් කරද්දි අපි සංවේදී විය යුතුයි. ඒවායින් අපහසුතාවට පත්වන ප්‍රජාවක් ඉන්නවා. ව්‍යවස්ථාවේ තිබෙනවා සියලු දෙනාටම එක හා සමානව සැලකිය යුතුයි කියලා.රජයේ ස්ථාවරය පැහැදිලියි අපි කිසිම කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් විශේෂ ප්‍රවර්ධනයක් කරන්නේ නැහැ.

මෙහිදී බන්ධානාගාර ගතව සිටින පිරිස් සම්බන්ධයෙන් ඇසූ ප්‍රෂ්නයකට පිලිතුරු ලබා දුන් අග්‍රාමාත්‍යතුමිය,

බන්ධනාගාරයේ සිදුව්යයුතු ප්‍රතිසංස්කරණ ගරු අධිකරණ අමාත්‍යතුමා හා අමාත්‍යාංශය ඒ පිළිබද සොයා බලනවා. වයස අවුරුදු පහට අඩු දරුවන් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඔවුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ සුභ සාධනය පිළිබඳ මැදිහත්වීමට කටයුතු කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන් දරුවන් මෙවැනි ස්ථානවල සිටීම වැළැක්වීමට නම් අධිකරණ ක්‍රියාවලිය වෙනස් කළ යුතුයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රමාත්‍යතුමිය මෙසේ ද පැවසීය.

විද්‍යා පීඨ කාලයක් තිස්සේ සංශෝධනය වෙලා නැහැ. සම්පත් විතරක් නොවෙයි ක්‍රියාත්මක වන විදිය ගැන විශාල අවධානයක් යොදවලා තිබුණේ නැහැ.

මේ වසරතුළ දී වර්තමානයට ගැලපෙන හා යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් ගැලපෙන පරිදි විෂයමාලාවක් සැකසිය යුතුයි. අපි බලාපොරොත්තු වන්නේ අපිට අවශ්‍ය ගුරුවරයා නිර්මාණය කරන එකයි. ඒ වෙනුවෙන් විද්‍යාපීඨවල සිටින ගුරුවරුන් මෙන්ම ගුරු අධ්‍යාපනඥ අංශයේ සිටින අයත් මේ වන විටත් පුහුණු කරමින් සිටිනවා.

අපේ රජයේ ඉලක්කය වන්නේ සියලුම ගුරුවරුන් උපාධිධාරින් විය යුතුයි කියන තැනට ක්‍රමානුකූලව එන්න.

විද්‍යාපීඨ තුළත් උපාධියක් පිරිනමන තැනට ගේන්නයි අපට අවශ්‍ය. දැනටමත් කුලියාපිටිය විද්‍යාපීයේ උපාධිය පිරිනමන බවත් ඉතිරි විද්‍යාපිඨ 19 ත් ඒ මට්ටමට ගන්න අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය