විපක්ෂයට මේ මැතිවරණයත් තවත් එක බලය ලබා ගැනීමේ අරගලයක් විතරයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රජයට දූෂණයෙන් තොරව ගමට වෙන් කළ මුදල් ගෙනියන්න මේ මැතිවරණය තීරණාත්මකයි

විපක්ෂයට මෙවර මැතිවරණය තවත් එක බලය ලබා ගැනීමේ අරගලයක් පමණක් වුවත් රජයට අවශ්‍ය ජනතාව වෙනුවෙන් වෙන් කළ මුදල් දූෂණයෙන් තොරව ගමට ගෙනියන්න අවස්ථාව නිර්මාණය කර ගැනීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ, මාළිගාවත්ත කොට්ඨාසයේ පැවති ජනහමුවකට එක්වෙමින් 21 වන දින පස්වරුවේ අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපේ රජය දැන් වැඩ ආරම්භ කර තිබෙනවා. අපි රජයේ පළවෙනි අයවැය ඉදිරිපත් කළා. ඒ ඉදිරි මාස අට සඳහා. අපිට අවශ්‍ය වුණේ වසර ගණනාවක් බැට කාපු ජනතාවට යම් ප්‍රතිලාභයක් ලබා දෙන සංවර්ධනයක් ඇති කරන්න. ගමේ ආර්ථිකය සංවර්ධනය කරන්න.

අපේ වැරදි හොයන කිසි කෙනෙක් මෙතෙක් මේ රටේ සිටි පාලකයන් සිදු කළ මුදල් නාස්තිය ගැන කතා කරන්නේ නැහැ.

අපි ඉතාමත්ම පරිස්සමෙන් මුදල් කළමනාකරණය කරමින් ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. ව්‍යාපෘති සැලසුම් කරනවා. ඒ ව්‍යාපෘති ගමට ගෙනියන්න බිම් මට්ටමේ නායකත්වයත් පිරිසිදු විය යුතුයි.

ඒ නිසා මේ මැතිවරණය ඉතාමත්ම තීරණාත්මකයි. මේ තියෙන්නේ කල්දාපු මැතිවරණයක් . අපිට මුලින්ම කරන්න වෙලා තියෙන්නේ පැවති රජයන් අතරමඟ නතරකළ සංවර්ධන කටයුතු නිම කිරීම සහ වැරදියට කරපු දේවල් නිවැරදි කරන්න.

රජය වියදම් කරන හැම රුපියලයක් ගැනම දහස් වතාවක් කල්පනා කරනවා. ගම් මට්ටමට රජය වෙන් කළ මුදල් එවන විට එතන ඉන්නේ හොරු නම් අපි ගම සංවර්ධනය කරන්නේ කොහොමද . රට නිවැරදි මගට ගන්න ජනතාව ගත්ත තීරණයේ තුන්වෙනි අභියෝගය ලෙස කල්පනා කරලා පැවති මැතිවරණ හා සමාන ජයග්‍රහණයක් එළැඹෙන මැයි 06 වෙනිදා ලබා ගනිමු.

පාලනයේ ඉහළ සහ බිම්මට්ටමේ දේශපාලන සංස්කෘතීන් දෙකක් තියෙන්න බැහැ. ඉහළ මට්ටම නාස්තියෙන්, දූෂණයෙන්, වංචාවෙන් තොරව වැඩ කරනවා නම් ගම්මට්ටමේත් එවැනිම පාලනයක් තිබිය යුතුයි. ඒ සඳහා ගැලපෙන අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තිබෙන්නේ ජාතික ජන බලවේගය විතරයි.

අපි කොළඹට නගරාධිපති අපේක්ෂකාව ලෙස ඉදිරිපත් කරලා තිබෙන්නේ උඩින් පහත් වුණු කෙනෙක් නෙවෙයි, දේශපාලන පවුල් බලයෙන් ආපු කෙනෙක් නෙවෙයි, කොළඹ ඇවිදලා, කොළඹ ගැන හොඳ අවබෝධයක් තිබෙන ජනතාව ගැන, කොළඹ ගැටළු ගැන අවබෝධ කරගත් අපේක්ෂිකාවක්. ව්‍රායි සහෝදරිය මගේ පෞද්ගලික ලේකම් ලෙස ඉන්නකොට මොන සංවේදී කාරණාවක් ඉදිරිපත් කළත් ඒ ප්‍රශ්න වලට ඉතාමත්ම නිවැරදිව ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාවක් ඇයට තිබෙන බව මම අවබෝධ කරගත්තා. එවැනි කෙනෙකුටයි කොළඹ පුරපති තනතුර ලැබෙන්න ඕන. එක පැලැන්තියකට, එක කොටසකට එක ප්‍රදේශයකට පමණක් සළකන කෙනෙක් කොළඹ නගරාධිපති වෙන්න බැහැ. සමස්ත කොළඹටම නගරාධිපති ලෙස වැඩ කරන්න පුලුවන්, ජනතාවට සංවේදී කෙනෙක්. කොළඹ පුරපති වෙන්න ඕන. ජාතික ජන බලවේගයට අවශ්‍ය ජනතාවට සේවය කරන්න ජනතාව වෙනුවෙන් වැඩ කරන්න එවැනි දේශපාලන අරමුණකින් තමයි ජාතික ජන බලවේගය අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තිබෙන්නේ.

කොළඹ මහනගර සභාවෙි වසරක ආදායම බිලියන 30යි. ඒක ජනතාව වෙනුවෙන් වෙන් කළා නම් අද කොළඹ මෙහෙම තියෙන්න බැහැ. ආනන්ද, නාලන්ද, රාජකීය පාසැල් වගේම ගුරුවරු නැති, ජලය නැති, වැසිකිලි පහසුකම්වත් නැති පාසල් කොළඹ තිබෙනවා. එහෙම වුණේ කොහොමද? ප්‍රාදේශීය මට්ටමෙි ගැටලුවල වැඩි වගකීමක් තිබෙන්නේ පලාත් පාලන ආයතන වලට, ඒ ආයතනවලට අදාල වගකීම් වෙනුවෙන් වැඩ කරන්න බැරිනම් අපි කොහොමද අලුත් රටක් නිර්මාණය කරන්නේ.

අද රජයේ වැඩපිළිවෙල සමග රටේ ආර්ථිකය වර්ධනය වෙන්න පටන් අරන් තිබෙනවා. සංචාරකයින් මේ රටට එන්න පටන් අරන් තිබෙනවා. රටේ සංවර්ධනයන් ආරම්භ කරමින් යනවා, තව කරන්න වැඩ රාශියක් තිබෙනවා. ජාතික වශයෙන් කරන සැලසුම් බිම් මට්ටමේ යථාර්ථයක් කරන්න නම් නගරසභා ඇතුළු පළාත් පාලන ආයතන වෙනුවෙන් නිවැරදි නායකත්වයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

දූෂිත දේශපාලනයෙන් රට මුදාගෙන මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න විසඳීමට ජනතාව සිය ඡන්දය කල්පනාකාරීව භාවිත කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, කොළඹ පුරපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් ඇතුළු නගර සභා අපේක්ෂකයින්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය